පිටසක්වළ ජීවය සොයා ක්‍රියාත්මක වන මෙහෙයුම් බොහෝමයක් සිය අවධානය යොමු කරන්නේ විවිධ තාරකා පද්ධතීන් තුළ ඇති ‘වාස හිතකර කලාපය’ (Habitable Zone) වෙතටයි. තාරකාවේ සිට සාධාරණ දුර ප්‍රමාණයකින් පිහිටි, ද්‍රව ජලය පැවතිය හැකි ග්‍රහලෝක මෙම කලාපයට අයත් වනවා.
නමුත් නවතම අධ්‍යයනයකින් පෙන්වා දෙන්නේ වාස හිතකර කලාපය ගැන සැලකිලිමත් විය යුත්තේ ඉතා ම ප්‍රවේශම් සහගත ව බවයි. එය සිදු කළ යුත්තේ දැනට සිදු වන පරිදි ‘ජීවය පැවතිය හැකි’ කලාප සෙවීමෙන් නොව, ‘ආගණනය සිදු විය හැකි’ කලාප සෙවීමෙන් බවයි එය යෝජනා කරන්නේ.
තොරතුරු මත පදනම් වූ ආගණනයන්ගේ එකතුවක් ලෙසත් ‘ජීවය’ අර්ථ දැක්විය හැකියි. DNAවල අන්තර්ගත තොරතුරු හා ආගණනයන් විවිධ වූ ප්‍රෝටීන මඟින් ක්‍රියාවට නැංවෙනවා. තොරතුරු ගබඩා කර ගැනීමේ සහ පරිසරය මත හැඩගැසීමේ හැකියාව මත ජීවීන් ස්වභාවික වරණයකට යොමු වනවා.
සාම්ප්‍රදායික ලෙස ක්‍රියාවට නැංවෙන පිටසක්වළ ජීවය සෙවීමේ මෙහෙයුම් සියල්ල ම පාහේ වෙනස් පරිසර පද්ධතීන් දෙස බලන්නේ පෘථිවිය උපමාවට ගෙනයි. එනම් මව් තාරකාවට හරි දුරකින් පිහිටි යම් ග්‍රහලොවක මතුපිට වෙසෙන ජීවීන් සිය රසායන ප්‍රතික්‍රියා සඳහා ද්‍රව ජලය ද්‍රාවකය ලෙස යොදාගන්නා බව සංදර්භයක් ලෙස ගෙනයි. නමුත් ඊට වඩා සංකීර්ණ ජීව ආකාර මේ විශ්වය පුරා විහිදී තිබිය නො හැකි ද?
මේ අධ්‍යයනය මඟින් පෙන්වා දෙන්නේ වාස හිතකර කලාපය අර්ථ දැක්විය යත්තේ තවත් පුළුල් කළ සංකල්පයකින් බවයි. ජීවයක් පිළිබඳ ඉඟි හමු වීමේ වඩාත් ම ඉහළ සම්භාවිතාවක් ඇත්තේ ආගණනය (computation) සඳහා උචිත පරිසර පද්ධතියක බවයි. මේසේ ‘ආගණන කලාප’ බිහි වීම සඳහා සැපිරිය යුතු ගුණාංග තුනක් තිබෙනවා. පළමු වැන්න එය රසායන සංයෝගවලින් පොහොසත් ව තිබිය යුතු වීමයි. දෙ වැන්න ශක්ති ප්‍රභවයක උපකාරය තිබීමයි. සූර්යයෙකු හෝ ජලතාප කපොලු (hydrothermal vents) මීට උදාහරණ ලෙස දැක්විය හැකියි. තුන් වැනි අවශ්‍යතාවය නම් ආගණනයට සුදුසු උපස්තරයක් තිබීමයි.
මේ නව යෝජනාවලිය අනුව ‘වාස හිතකර කලාප’ යනු තවත් විස්තීර්ණ ලෙස පැතිරුණු ‘ආගණන කලාපයන්’ගේ උප කුලකයක් ලෙස හඳුන්වා දිය හැකියි.
Universe Today ඇසුරෙනි.
සත්‍ය හෙට්ටිආරච්චි