Home Science News ජර්මනිය තම අවසන් න්‍යෂ්ටික බලාගාර තුන වසා දමයි

ජර්මනිය තම අවසන් න්‍යෂ්ටික බලාගාර තුන වසා දමයි

by Sathya

ජර්මනිය තම අවසන් න්‍යෂ්ටික බලාගාර ත්‍රිත්වය වසා දමා තිබෙනවා. Emsland, Isar 2 සහ Neckarwestheim යන මෙම බලාගාර තුන අප්‍රේල් මස 15වැනි දා නිල වශයෙන් වසා දමනු ලැබුවේ ජර්මනියේ දශක හයක් තිස්සේ දිවුණු න්‍යෂ්ටික යුගය අවසන් කරමින්.

මෙම බලාගාර වසා දැමීමට ජර්මනිය සැලසුම් එළා තිබුණේ 2000 වසරේ සිටයි. 1970 ගණන්වල සිට න්‍යෂ්ටික බලයට එරෙහි ව ජර්මනිය තුළ ප්‍රතිරෝධයක් ගොඩනැඟෙමින් තිබුණේ ඒවායේ අනතුරුදායක බව සැලකිල්ලට ගනිමිනුයි. චර්නෝබිල් අනතුර ඇතුළු ව ලෝකයේ සිදු වූ විවිධ න්‍යෂ්ටික බලාගාර අනතුරු මෙම මතවාදය වර්ධනය කළ අතර 2011 වසරේ ජපානයේ ෆුකුෂිමා බලාගාරයේ සිදු වූ අනතුර සමග න්‍යෂ්ටික විදුලි බලයෙන් සමුගැනීමේ ක්‍රියාවලිය වේගවත් වුණා. මෙම අවසන් බලාගාර ත්‍රිත්වය 2022 වසරේ දෙසැම්බර් මාසය වන විට වසා දමන්නට සැලසුම් කෙරී තිබුණත් එය මාස කිහිපයකින් කල් දැමුණේ රුසියානු යුක්‍රේන ආක්‍රමණය සමග ඇති වූ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ අවිනිශ්චිතතාව හේතුවෙනුයි.

ජර්මනියේ විදුලි බල ශක්ති අවශ්‍යතාවයෙන් සියයට 5ක් පමණ සපයා ඇත්තේ මෙම න්‍යෂ්ටික බලාගාරයි. සූර්යය හා සුළං වැනි පුනර්ජනනීය බල ශක්ති ප්‍රභවයන් හරහා එම පරතරය සපුරා ගැනීම ජර්මනියේ ඉලක්කයයි. කෙසේ වෙතත් එතෙක් ඒ සඳහා ස්වභාවික වායු, ගල් අඟුරු වැනි පොසිල ඉන්ධන භාවිත කිරීමට ජර්මනියට සිදු වනු ඇති.

ඇමෙරිකාව, එක්සත් රාජධානිය, චීනය, ප්‍රංශය, ජපානය වැනි වෙනත් කාර්මික රටවල් න්‍යෂ්ටික ශක්තිය වෙත වැඩි වශයෙන් යොමු වෙද්දී ජර්මනියේ මෙම විතැන් වීම බොහෝදෙනාගේ විමතියට හේතු වී තිබෙනවා. පරිසරවේදීන් ද මේ පිළිබඳව නො සතුට පළ කරන්නේ මේ සමග පොසිල ඉන්ධන භාවිතය නැවත ඉහළ යන නිසයි. මේ තීරණයත් සමග 2045 වන විට පූර්ණ වශයෙන් පුනර්ජනනීය බලශක්තියට හුවමාරු වීමේ තම ඉලක්කය සපුරාගැනීමට ජර්මනිය අසමත් වනු ඇති බවටයි විද්වතුන් පෙන්වා දෙන්නේ. එමෙන් ම මෙලෙස අක්‍රීය කරන ලද බලාගාර ඉදිරියේ දී මුහුණ දෙන බලශක්ති ගැටලු හමුවේ නැවත සක්‍රීය කරන්නට ජර්මනියට සිදු වනු ඇති බවට ද ඔවුන් අනාවැකි පළ කරනවා.

CNN හා Sky News ඇසුරෙනි.

දමිත නිපුණජිත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications