Home Science News අප‍ට නො පෙනෙන දෙමුහුම් සූර්යග්‍රහණයක් හෙට

අප‍ට නො පෙනෙන දෙමුහුම් සූර්යග්‍රහණයක් හෙට

by Sathya

2023 වසරේ පළමු සූර්යග්‍රහණය හෙට දින (20) සිදු වීමට නියමිතයි. දුර්ලභ ගණයේ දෙමුහුම් සූර්යග්‍රහණයක් වන මෙය ඔස්ට්‍රේලියාවට, අග්නිදිග ආසියාවට සහ පැසිෆික් සාගරයේ ඇතැම් කොටස්වලට පූර්ණ සූර්ය ග්‍රහණයක් ලෙසින් දිස් වූවත් ශ්‍රී ලංකාවේ සිට නිරීක්ෂණය කිරීමට නො හැකියි.

හෙට හිරු උදාවන විට කිලෝමීටර 49ක් පළලැති පථයක් ඔස්සේ සූර්යග්‍රහණයේ සෙවණැල්ල ඉන්දියානු සාගරය සිපගන්නට නියමිතයි. ඊට ගොඩබිම් පෙදෙස් හසු වන්නේ තැන් තුනකින් පමණයි. මුලින් ම එය ඇතුළු වන්නේ ඔස්ට්‍රේලියාවටයි. ඔස්ට්‍රේලියාවේ වයඹ දෙසින් ඇතුළු වන සෙවණැල්ල අනතුරුව ටිමෝර් මුහුද (Timor sea) තරණය කර නැ‍‍ගෙනහිර ටිමෝර් දූපත් රාජ්‍යය, ඉන්දුනීසියාව, ෂවුටන් දූපත් (Schouten Island) සහ බටහිර නිව් ගිනියා දක්වා ගමන් ගනු ඇති.

මෙහි පූර්ණත්වයේ උපරිම අවස්ථාව විනාඩි 1යි තත්පර 16ක් පුරා දිවෙනවා. එය සාමාන්‍යයෙන් වළයාකාර පූර්ණ සූර්යග්‍රහණ ගැන සලකද්දී එය තරමක දිගු කාලයක පූර්ණත්වයක්. 2172 ඔක්තෝබර් 17 වැනි දා සිදු වන්නට නියමිත සූර්යග්‍රහණය තෙක් ම වාර්තාගත දිගු ම වළයාකාර සූර්යග්‍රහණය වනු ඇත්තේ මෙයයි.

දෙමුහුම් සූර්ය ග්‍රහණ කෙතරම් විරල දැයි පැවසුවොත් 21 වැනි සියවස පුරාම සිදු ව ඇත්තේ හතක් පමණයි. ඒ සමස්ත සූර්ය ග්‍රහණ අතුරෙන් 3.1%ක ප්‍රතිශතයක්.

පූර්ණ සූර්යග්‍රහණවලට වඩා වළයාකාර සූර්යග්‍රහණ එන්න එන්න ම සුලබ වන බව නිරීක්ෂණය කළ හැකියි. සඳ පෘථිවියෙන් කෙමෙන් ඈත් වීමත් සමඟ අනාගතයේ යම් දිනකින් පසු සිදු වන සියලු පූර්ණ සූර්යග්‍රහණ වළයාකාර සූර්යග්‍රහණවලින් ප්‍රතිස්ථාපනය වනු ඇති.

Science Alert ඇසුරෙනි.

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications