Home Science News පර්සිගේ ගමන් සගයා හැර යයි

පර්සිගේ ගමන් සගයා හැර යයි

by Sathya

NASA ආයතනය විසින් අඟහරු ගවේෂණයට යවන ලද පර්සවරන්ස් රෝවරයේ ඉදිරියෙන් පිහිටි වම්පස රෝදය තුළ අඟහරු පාෂාණයක් තැන්පත් ව ඇති බව සොයා ගැනුණේ 2022 පෙබරවාරියේ යි. එතැන් සිට මේ දක්වා ම එය පර්සවරන්ස්ගේ තනි රකිමින්, ගමන් සගයා ලෙස එයත් සමඟ ම රැඳී සිටියා.

නමුත් රෝවරයේ SuperCam යනුවෙන් හැඳින්වෙන කැමරා පද්ධතිය සම්බන්ධයෙන් කටයුතු කරන ආචාර්ය Gwénaël Caravaca පවසන්නේ තවදුරටත් පර්සි සමඟ ඒ ‘අඟහරු වාසියා’ ගමන් නො කරන බවයි. Hazcam කැමරාව මඟින් ලබාගත් නවතම ඡායාරූපයේ මේ ගල් කැටය සටහන් වන්නේ නැහැ. අඟහරුගේ රහස් සොයා සැරිසරන මඟ කොතැනක හෝ එය හැලී යන්නට ඇති.

NASA ඉංජිනේරුවන් පවසන පරිදි රෝදවල ගල් තැන්පත් වීම සිදු වන්නේ රෝවරය පල්ලම් වැනි ආනත බිම් කඩ මතින් ඇදී යන විටයි. එසේ ම ඇතැම් අවස්ථාවල රෝවරයේ රෝද අගිසිවලට තැලී පුපුරා යන පාෂාණ කැබලි ද විසිවී අවුත් රෝද තුළ තැන්පත් වන්නට ඉඩ තිබෙනවා. රෝදය තුළ පාෂාණය තැන්පත් ව තිබුණත් ඉන් එහි ක්‍රියාකාරිත්වයට කිසිඳු බාධාවක් පැන නැඟුණේ නැහැ. නමුත් පර්සවරන්ස්ට කන් දෙකක් තිබුණි නම් එය නිරන්තරයෙන් රෝදය තුළ ඇතිල්ලෙමින් ඇති කරන කන්දොස්කිරියාව ඇසෙන්නට ඉඩ තිබුණා.

‘නවතම Hazecam ඡායාරූපය මඟින් ඉදිරිපස වම් රෝදයේ සිටි සුරතල් පාෂාණය නැති වී ඇති බව අපි සොයාගත්තා. ඒක සොල් 341 සිට සොල් (අඟහරු දින) 427ක් (පෘථිවියේ නම් වසරකට අධික කාලයක්!) දක්වා කාලයක් තුළ කිලෝමීටර 10කට ආසන්න දුර ප්‍රමාණයක් අපත් සමග ම ගමන් කළා.
සමුගනිමු ගල් යාළුවේ, ඔයාව මතක් වේවි!’

එසේ සඳහන් කර තිබු‍ණේ Gwénaël Caravaca, ට්විටර් සටහනක් තබමින්.

Universe Today ඇසුරෙනි.

සත්‍ය හෙට්ටිආරච්චි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications