සෑම වසරක ම දෙසැම්බරයේ මිථුන රාශිය පසුබිම් කරගෙන හටගන්නා ජෙමිනිඩ්ස් (Geminid) උල්කාපාත වර්ෂාවට මුල් වන්නේ 3200 Phaethon ලෙස හැඳින්වෙන ග්‍රහකයයි.
සූර්යයා වටා යන ගමනේ දී ගත වන සෑම සූර්ය සමීපකයක දී ම උෂ්ණත්වයට නතු වීමෙන් ඉන් දුමාර පටලයක් පිට වනවා.
මෙතෙක් විද්‍යාඥයන් සිතා සිටියේ මේ වල්ගය කුඩා දුහුවිලි අංශුවලින් තැනී ඇති බවයි. නමුත් නවතම නිරීක්ෂණ මඟින් පෙනී ගොස් තිබෙන්නේ මේ උපකල්පනය වැරදි බවයි. 3200 Phaethon එසේ පිට කරන්නේ දුහුවිලි අංශූන් නොව, සෝඩියම් වායුව බවයි ඉන් පෙනී යන්නේ. ඒ අනුව බලද්දී එය ප්‍රමාණයෙන් කුඩා බුධ ග්‍රහයෙකු වැනියි.
මේ සොයා ගැනීම ග්‍රහකය ගැන අපගේ වැටහීම පුළුල් ලෙස වෙනස් කරනවා. ඇතැම් විට අප වල්ගාතරු ලෙස වටහාගෙන සිටින ඇතැම් අජටාකාශ වස්තූන් සැබෑවට ම හුදු සෝඩියම් පිට කරන ග්‍රහක වන්නටත් ඉඩ තිබෙන බව ඉන් පෙනී යනවා.
“අපේ විශ්ලේෂණයන් පෙන්වා දෙන පරිදි Phaethonගේ වල්ගාතරුවක් සේ පෙනෙන පරිදි සිදුවන ක්‍රියාවලිය කිසිඳු ආකාරයක දුහුවිල්ලකින් පැහැදිලි කළ නො හැකියි.” මේ පර්යේෂණය සඳහා දායක වූ කැලිෆෝර්නියා තාක්ෂණායතනයේ තාරකා භෞතික විද්‍යාඥ Qicheng Zhang සඳහන් කරනවා.
වල්ගාතරු හෙවත් ධූමකේතු සහ ග්‍රහක යනු එකිනෙකට වෙනස් ආකාශ වස්තූන් කාණ්ඩයක්. වල්ගාතරුවක් හිරුට ආසන්න වූ විට එය ක්‍රියාකාරී අවධියකට පත් වන අතර ඒ තුළ ඇති අයිස් දුහුවිලි අංශූන් සේ අවටට පැතිරෙනවා. වල්ගයක් සේ දිස්වන්නේ එයයි.
වල්ගාතරුවකට සාපේක්ෂ ව ග්‍රහක සතු ව අයිස් නොමැති තරම්. එනිසා වල්ගයක් ඇඳින්නට තරම් හැකියාවක් ඒවා සතු ව නැහැ. කොහොම නමුත් මෑත කාලීන ව විද්‍යාඥයන් විසින් වල්ගාතරුවල ලාක්ෂණිකත් ප්‍රදර්ශනය කරන ග්‍රහක සැලකිය යුතු ප්‍රමාණයකුත් සොයාගනු ලැබ තිබෙනවා. වල්ගයක් ද සතු විය හැකි මේවා හැඳින්වෙන්නේ ‘සක්‍රීය ග්‍රහක’ හෙවත් active asteroids ලෙසයි.
එසේ ම Phaethon සොයාගනු ලැබූ 1980 ගණන්වල පටන් ම එය තරමක් අසාමාන්‍ය ගති ලක්ෂණ සහිත එකක් බවට සැලකුණා. එහි දින 524ක ආවර්ත කාලය සැලකිල්ලට ගැනීමේ දී එය ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාවටත් හරියට ම පෑහෙන බව විද්‍යාඥයන් සොයා ගත්තේත් ඒ සමයේ මයි.
Phaethonගේ වල්ගය සතු ව ඇත්තේ දුහුවිලි අංශූන් බව තවදුරටත් පිළිගත නො හැක්කේ ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව ජනනය කරන්නට තරම් දුහුවිලි නො සෑහීමයි.
පර්යේෂණ කණ්ඩායම ඉන් පිටවන්නේ සෝඩියම් බව සොයාගැනීමට සූර්ය නිරීක්ෂණාගාර දෙකකින් රැස් කරගත් දත්තා යොදාගත්තා. ඉන් එකක් NASA ආයතනයට අයත් Solar Terrestrial Relations Observatory (STEREO) වන අතර, අනෙක ESA හා NASA ඒකාබද්ධ ව පවත්වා ගෙන යන Solar and Heliospheric Observatory (SOHO) නිරීක්ෂණාගාර යානාවන්. එකී යානා මඟින් මේ ග්‍රහකයේ ලබාගත් ඡායාරූප සෝඩියම් සංවේදී පෙරහන තුළින් නිරීක්ෂණය කළ විට වල්ගය ඇති ව දිස් වූවත් දුහුවිලි සංවේදී පෙරහන් ඔස්සේ කළ නිරීක්ෂණයන් මඟින් වල්ගයක් දැකගැනීමට හැකියාව ලැබී නැහැ.
Science Alert ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්