හතළිස් පස් වසක් මුළුල්ලේ අනුපමේය සේවයක් ඉටු කළ වොයේජර් 1 සහ 2 යානා අභ්‍යවකාශ ගත කරනු ලැබුණේ 1977 තරම් ඈත අතීතයේ යි. ඒ සෙනසුරු හා බ්‍රහස්පති පසු කර යන සිව් වසරක මෙහෙයුමක් ලෙසින්. නමුත් ඊට එහා ගිය වටිනාකමක් එහි ඇති බව කල් යත් ම තේරුම් යද්දී මෙහෙයුමේ ආයු කාලය තව තවත් දිග් වුණා. මේ වන විට වොයේජර් 1 යානය පෘථිවියේ සිට දුරින් ම ඇති මිනිසා විසින් නිර්මිත මෙවලම බවට පත් ව තිබෙනවා. සෞරග්‍රහ මණ්ඩලයෙන් ද එපිටට ගොස් ඇති එය දැන් තිබෙන්නේ පෘථිවියේ සිට කිලෝමීටර බිලියන 23.483 ඈතින්. කෙසේ නමුත් එහි සහෝදරිය වන වොයේජර් 2 තිබෙන්නේ ඊට වඩා නක්ෂත්‍ර ඒකක කිහිපයක් පිටුපසින්.
වොයේජර් යානාවන් ද්විත්වය ජවය ලබාගන්නේ ප්ලුටෝනියම් මඟින් ඇති කරන තාපය විදුලිය බවට හරවා ගැනෙන ජනන යන්ත්‍ර මඟින්. මේ මූලාශ්‍රයන් කෙමෙන් නශ්ට වී යන්නට පටන් ගැනීමත් සමඟ NASA බලධාරීන් එහි අත්‍යවශ්‍ය නො වන උපාංග ක්‍රියා විරහිත කර දැමුවේ ජව ඉල්ලුම කප්පාදු කර ගැනීමටයි. නමුත් වොයේජර් 2 සිය අවසාන ජව සංචිතවලට ළඟා වීමත් සමඟ තවත් තෙටි කාලයක් පණ නො නැසී තබා ගත හැකි තවත් ක්‍රමයක් NASA ඉංජිනේරුවන් සොයා ගත්තා. එනම් යානයේ පරිපථ අක්‍රමිකතාවක් හටගතහොත් සිදු වන වෝල්ටීයතා අසමානතාවන් තුලනය කරනු පිණිස ස්ථාපනය කර ඇති සුරැකුම් පද්ධතියේ විදුලි පරිභෝජනය අවහිර කර එය වෙනතකට යොමු කිරීම මඟින්.
“වෝල්ටීය අසමානතා උපාංග අවදානමේ හෙළන බව ඇත්තක්. නමුත් ඒ අවදානම සුළු එකක් බව අපි තීරණය කර තිබෙනවා. ඒ වෙනුවට වැදගත් විද්‍යාත්මක උපකරණ රැසක් තවදුරටත් පණ පිටින් තබා ගැනීමේ හැකියාව අපට ලැබී තිබෙනවා” NASA ජෙට් ප්‍රචාලන විද්‍යාගාරයේ වොයේජර් මෙහෙයුම් කළමණාකාර ලෙස කටයුතු කරන Suzanne Dodd මාධ්‍ය නිවේදනයක් මඟින් සඳහන් කර තිබෙනවා.
ඇතැම් විට NASA මේ උපක්‍රමය ම වොයේජර් 1 යානයටත් යොදවන්නට ඉඩ තිබෙනවා. කෙසේ නමුත් වොයේජර් 2ට තරම් ජව අවශ්‍යතාවක් 1 යානයට නැත්තේ එය සතු උපාංග රැසක් ම අක්‍රීය වී ඇති නිසා යි. 1 යානයටත් මෙය ම සිදු කරනවා දැ යි තීරණය කෙරෙනු ඇත්තේ ලබන වසරේ දී බවයි NASA ආරංචි මාර්ග සඳහන් කර තිබෙන්නේ.
Insider ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්