රෝහල්ගත ව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් මිය යන මොහොතේ දී මොළයේ සිදු වන අධි ක්‍රියාකාරී තත්ත්වයක් නිරීක්ෂණය කිරීමට මිචිගන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් සමත් ව තිබෙනවා.
ඔවුන් මේ අනාවරණය සිදු කර ඇත්තේ කෝමා තත්ත්වයෙන් පසු වූ රෝගීන් සිව් දෙනෙකුගේ මොළයෙන් ලබාගත් EEG සටහන් අධ්‍යයනය කිරීම මඟින්. රෝගීන් සිව් දෙනා ම බාහිර ලෝකයට කිසිඳු ප්‍රතිචරෙයක් නො දැක්වූ අතර කිසිඳු වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේ ප්‍රකෘතිමත් කිරීමට නො හැකි බව තීරණය කර තිබුණා. පවුල්වල කැමැත්ත පරිදි ඔවුන්ගේ ජීවාධාරක පද්ධති ගලවා දැමුණු අතර අනතුරුව ඇති වූ හෘදයාබාධ තත්ත්වයන් මත මියගියා. මිය යන විටත් ඔවුන්ගෙන් EEG සටහන් පටිගත කෙරෙමින් පැවතුණා.
පර්යේෂකයන් ජීවාධාරක පද්ධතිය ගලවා ඉවත් කර මරණය ළඟා වන තරු ගත වූ මොහොත තුළ සටහන් වූ EEG දත්ත අධ්‍යයනයේ දී සොයාගෙන තිබෙන්නේ රෝගීන් සිව් දෙනාගෙන් දෙදෙනෙකුගේ හෘද ස්පන්දන වේගය වැඩි වූවා මෙන් ම මොළයේ ගැමා තරංග සර්ජනයක් ද හටගත් බවයි. ගැමා තරංගයන් මොළයේ පවතින වේගවත් ම ක්‍රියාකාරිත්වය ලෙස සැලකෙනවා. එය පුද්ගලයෙකුගේ සවිඥානිකත්වය ආශ්‍රය කොටගත් ක්‍රියාකාරිත්වයක් ලෙසයි සැලකෙන්නේ.
“අපි ඔවුන්ගෙන් සවිඥානිකත්වයේ නියුරෝ සංඥා දුටුවා.” අධ්‍යයනය මෙහෙයවූ මිචිගන් විශ්වවිද්‍යාලයේ Jimo Borjigin පවසනවා.
Jimo Borjigin පවසන පරිදි එය මිය යාමට මත්තෙන් මනා සිහියට පත් වීමකට සමානයි.
ඇතැම් විට මෙය අසාධ්‍ය තත්ත්වයේ සිටි, බොහෝ දෙනා මුහුණ දුන් බවට පැවසෙන ‘මරණාසන්න අත්දැකීමකට’ (Near Death Experience – NDE) ද සමාන විය හැකි බවයි Borjigin පෙන්වා දෙන්නේ.
The Guardian ඇසුරෙනි.
සත්‍ය හෙට්ටිආරච්චි