Home Science News රෝම යුගයේ පැරණි ඊජිප්තුවේ බෞද්ධයන් විසූ බවට සාධක හමු වේ

රෝම යුගයේ පැරණි ඊජිප්තුවේ බෞද්ධයන් විසූ බවට සාධක හමු වේ

by Sathya

රතු මුහුදු වෙරළේ පිහිටි පැරණි ඊජිප්තු වරාය නගරයක් වන Berenikeවලින් පළමුවන සියවසට අයත්, වසර 1,900 ක් පැරණි බුද්ධ ප්‍රතිමාවක් හමු වී තිබෙනවා.
පුරා විද්‍යාඥයින්ට අනුව මෙය දකුණු ආසියාවේ සිට ගෙනෙන ලද්දක් බව විශ්වාස කරනවා.
Berenike ව්‍යාපෘතියේ සහාය අධ්‍යක්ෂවරයෙකු වන එක්සත් ජනපදයේ ඩෙලවෙයා සරසවියේ ඉතිහාසය පිළිබඳ මහාචාර්ය ස්ටීවන් සයිඩ්බොතම් අලුතින් සොයාගත් මේ ප්‍රතිමාව ක්‍රිස්තු වර්ෂ 90 සහ 140 අතර කාලයට අයත් බව පවසනවා.

ඊජිප්තුවේ සංචාරක සහ පුරා වස්තු පිළිබඳ අමාත්‍යාංශයේ නියෝජිතයන්ගේ ප්‍රකාශයකට අනුව සෙන්ටිමීටර් 71 ක් එනම් අඟල් 28 ක් උසැති මේ ප්‍රතිමාව බුදුන් වහන්සේ සිටගෙන සිටින ඉරියව්වෙන් නිමවා ඇති අතර සිවුරේ වම්පස කොටස පමණක් දැක්වෙනවා.
පිටුපසින් ඇති රැස් වළල්ලෙන් හිරු කිරණ පහළට පරාවර්තනය වනවා.
ප්‍රතිමාවට අමතරව Berenikeවලින් සංස්කෘත ශිලා ලේඛනයක් ද සොයාගෙන තිබෙනවා.

මේ ප්‍රතිමාව අයත් වන්නේ රෝම අධිරාජ්‍යය විසින් ඊජිප්තුව පාලනය කරනු ලැබූ කාලයටයි.
එම කාලයේ දී ඊජිප්තුව සහ ඉන්දියාව අතර සැලකිය යුතු තරමේ වෙළෙඳ කටයුතු පැවතුණු අතර නැව් මඟින් ඇත්දළ , ගම්මිරිස් සහ රෙදිපිළි ඉන්දියාවේ සිට ඊජිප්තුවට රැගෙන ආ බව ඊජිප්තු අමාත්‍යාංශය පවසනවා.

මහාචාර්ය සයිඩ්බොතම් පවසන්නේ දකුණු ආසියාවෙන් පැමිණ Berenikeහි පදිංචි ව සිටි මිනිසුන් විසින් මේ ප්‍රතිමාව තනනු ලැබ ඇති බවයි.
ඔහු පවසන පරිදි හානියට පත් ව ඇති සංස්කෘත ශිලා ලේඛනය කිසියම් පිළිගැන්වීමක් විය හැකි අතර එය ක්‍රිස්තු වර්ෂ 244 සිට 249 දක්වා පාලනය ගෙනගිය මාර්කස් ජූලියස් පිලිපස් නම් රෝම අධිරාජයාගේ කාලයට අයත් වනවා.

“මේ නව සංස්කෘත ශිලා ලේඛනය ඇතුළු සොයාගැනීම්වලින් පැහැදිලිව පෙන්වා දෙන්නේ ඊජිප්තුව හරහා ගිය වෙළෙන්ඳන් නොව එහි පදිංචි ව සිටි ඉන්දියානු වෙළඳ ප්‍රජාවක් තිබුණු බවයි.”
එක්සත් ජනපදයේ සියැටල්හි වොෂින්ටන් සරසවියේ සංස්කෘත භාෂාව පිළිබඳ සේවාර්ජිත මහාචාර්ය රිචඩ් සොලමන් එසේ පවසනවා. ඔහු මෙන් ම මේ සොයාගැනීමට සම්බන්ධ නො වූ ක්වීන්ස්ලන්ත සරසවියේ සේවාර්ජිත මහාචාර්යවරයෙකු වන පිලිප් ආමන්ඩ් මෙය ඉතා ප්‍රබෝධජනක සොයාගැනීමක් බව පවසනවා.

ඔහු සඳහන් කරන අන්දමට ඇලෙක්සැන්ඩ්‍රියාවේ ඉන්දියානුවන් විසූ බව පැරණි ඉතිහාස වාර්තාවල දැක්වෙනවා.
ඔහු පෙන්වා දෙන්නේ ඊජිප්තුවේ විසූ ඉන්දියානුවන් සමහරෙක් බෞද්ධයන් බව මේ සොයා ගැනීමෙන් හැඟවෙන බවයි.

Live Science ඇසුරෙනි

ප්‍රේමශාන්ත කුමාරසිරි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications