චීනය සතු අභ්‍යවකාශ ගුවන් යානය සිය දෙවන මෙහෙයුම් සැරිය නිමා කර ඉකුත් 08 දා සාර්ථක ලෙස ගොඩබැස්වනු ලැබූ බව චීනයේ රාජ්‍ය පුවත් ඒජන්සිය වන ශින්හුවා නිවේදනය කළා. එය වයඹදිග චීනයේ පිහිටා ඇති ජියුක්වාන් චන්ද්‍රිකා දියත්කෙරුම් මධ්‍යස්ථානයට (Jiuquan Satellite Launch Center) ගොඩබෑවේ දින 276ක කාලයක් අභ්‍යවකාශයේ රැඳී සිටීමෙන් අනතුරුවයි.
“මේ අත්හදාබැලීමේ සාර්ථකත්වය නැවත භාවිතා කළ හැකි අභ්‍යවකාශ යානා තාක්ෂණයන් පිළිබඳ චීනය මෙහෙයවන පර්යේෂණවල සංධිස්ථානයක් වනවා.” ශින්හුවා පුවත් සේවය සඳහන් කරනවා.
මේ යානය අභ්‍යවකාශගත වූයේ පසුගිය වසරේ අගෝස්තු 4 වන දිනයි. ඒ ද ජියුක්වාන් මධ්‍යස්ථානයේ සිටයි.
මේ ආකාරයේ ම යානයක් ඇමරිකාවත් සතුයි. එහි ඉතිහාසය 2006 තරම් ඈතකට ඇදී යනවා. X-37B නමින් හැඳින්වෙන එහි කටයුතු පාලනය වන්නේ ඇමරිකාව සතු අජටාකාශ බලගනය (Space Force) මඟින්. එය ද රහසිගත ව්‍යාපෘතියක් බැවින් වැඩිමනක් තොරතුරු මහජනයාට විවර නැහැ. කෙසේ නමුත් එහි ප්‍රධානතම අභිප්‍රායක් ලෙස සඳහන් වන්නේ අනාගත අභ්‍යවකාශ ගමන් සඳහා නැවත නැවතත් භාවිත කළ හැකි අභ්‍යවකාශ යානා නිපදවීම සඳහා අවැසි තාක්ෂණයන් අත්හදා බැලීමයි. එය සැලසුම් කර තිබෙන්නේ Boing සමාගම විසින්. මේ වන විට හය වතාවක් පෘථිවි කක්ෂයට පිවිස ඇති එය එහි රැඳී සිටි වැඩිම කාලය දින 909ක්.
බටහිර විශේෂඥයන් උපකල්පනය කරන්නේ චීනය සතු ගුවන් යානයත් ඇමරිකාවේ X-37B යානයට දළ වශයෙන් සමාන බවයි. බාහිර පෙනුමින් පවා යානා දෙක අතර ඇත්තේ සමීප බවක්.
Space.com ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්