Home Science News මිනීමරු තල්මසුන් දෙදෙනෙකු තරම් වූ ජුරාසික් මුහුදේ සිටි යෝධයෙකු හඳුනාගැනේ

මිනීමරු තල්මසුන් දෙදෙනෙකු තරම් වූ ජුරාසික් මුහුදේ සිටි යෝධයෙකු හඳුනාගැනේ

by Sathya

අදින් දශක දෙකකට පමණ පෙර BBC නාලිකාව මඟින් විකාශය වූ “Walking with Dinosaurs” වාර්තාමය වැඩසටහන් පෙ⁣ළේ එක් කතාංගයකින් මීටර 25ක දිගකින් යුතු 𝐿𝑖𝑜𝑝𝑙𝑒𝑢𝑟𝑜𝑑𝑜𝑛 ජලජ ඩයිනෝසෝරයකු ප්‍රදර්ශනය කෙරුණා. එය එකල පාෂාණධාතු විශේෂඥයන් අතර ආන්දෝලනයක් ඇති කළා. ඔවුන් එතරම් විශාල ව වැඩෙන්නට ඉඩක් නැති බවට මත පළ වූ අතර පසු කාලීන ව වැඩුණු 𝐿𝑖𝑜𝑝𝑙𝑒𝑢𝑟𝑜𝑑𝑜𝑛 සතෙකුගේ වුව දිග මීටර 6කට ආසන්න බව සොයාගැනුණා.

BBC වාර්තා වැඩසටහන් පෙළේ උපදේශකවරයා වශයෙන් කටයුතු කළේ එංගලන්තයේ පෝර්ට්ස්මවුත් සරසවියේ මහාචාර්ය David Martill. අධ්‍යයනයට බඳුන් කළ සීමිත නියැදි ප්‍රමාණය නිසා ඔහුට ගණනයේ නිරවද්‍යතාව ගිලිහී ගොස් තිබුණු බව පසුව හඳුනාගැනුණා.

කෙසේ නමුත් ඔහු මෑතක දී බ්‍රිතාන්‍යයේ Abingdon County Hall Museum කෞතුකාගාරයේ සිය පර්යේෂණ සගයා ද සමග ෆොසිල ඡායාරූපකරණයේ යෙදී සිටිය දී හමු වූ තරමක් විශාල කශේරුකා පුරුකක් දැක ඒ පිළිබඳ විපිළිසර ව තිබුණා. තවත් එවැනි ම කොඳුඇට පෙළ පුරුක් දෙකක් ගබඩා තුළ තිබී සොයාගන්නට ඔවුන් සමත් වූ අතර ඒවා ප්ලයෝසෝරසයෙකුට (Pliosaurus) අයත් විය යුතු බව හඳුනාගැනුණා.

පරිලෝකනයන් මඟින් අනාවරණය කරගත් දත්තවලින් පැහැදිලි වන්නේ පස්චාත් ජුරාසික යුගයේ විසූ මේ සාගර උරගයින් මීටර 9.8ත් 14.4ත් අතර දිග ප්‍රමාණයකට වැඩී ඇති බවයි.

Pliosaurus ලා Plesiosaurs ට තරමක් සමාන වුවත්, ඔවුන් සතු ව වඩා විශාල, කිඹුලෙකුගේ මෙන් වූ දිගටි හිසක් ද කෙටි ගෙලක් ද පිහිටා තිබුණේ යැයි සැලකෙනවා. ඔවුන් සතු වූ අවල්පත් හතර දියඹේ පහසුවෙන් ඇදී යාමට හේතුකාරක වුණා. වර්ථමානයේ දැකිය හැකි මිනීමරු තල්මසුන් (Killer Whale) දෙදෙනෙකුගේ ප්‍රමාණයෙන් යුතු වූ මොවුන් ප්‍රචණ්ඩකාරී උරග විශේෂයක් වූ බවට සැලකෙනවා.

“Pliosaurusලා වසර මිලියන 145 – 152 අතර කාලයේ ඔක්ස්ෆර්ඩ්ශෙයර් වටකර තිබූ මුහුදේ විසූ භයංකර සත්ත්ව කොට්ඨාශයක් බව අපි දන්නවා. ඔවුන්ට සුවිශාල හිස්කබලක් ⁣වගේ ම විශාල කිනිසි වගේ දත් තිබුණා. ඒවා T.rex කෙනෙකුගේ තරම් ම ලොකු නො වෙන්න ඉඩ තිබුණත්, ඒවාට වඩා බලසම්පන්න බව සහතිකයි.” මහාචාර්ය Martill පවසනවා.

සාගර ආහාර දාමයේ ඉහළින් ම රජයූ ඔවුන් ඉච්තියෝසොරසයින්, ප්ලෙසියෝසෝරසයෙන් මෙන් ම සාගර කිඹුල් විශේෂ ද දෙකට කැඩෙන සේ හපා ආහාරයට ගන්නට ඇති බව Martill සඳහන් කරනවා. මෙතෙක් හමු වී ඇති Ichthyosaurs ඇටකටු මත හෑරී ගොස් ඇති ප්‍රබල දත් පහරවල් අධ්‍යයනය මඟින් එකල ප්‍රමාණයෙන් සාපේක්ෂ ව කුඩා මාරාන්තික උරගයින් සිටි බව පෙනී යනවා.

Phys.org ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications