1912 අප්‍රේල් 15 දා එංගලන්තයේ සවුත්හැම්ප්ටන් සිට එක්සත් ජනපදයේ නිව් යෝක් දක්වා ඇදුණු ටයිටැනික් නෞකාව සිය මංගල ගමනේ දී ම ශාන්තිකර සාගරය තුළ සැඟව ගියේ 1500කට අධික ජීවිත ගණනක් ද බිලි ගනිමින්. එදා මෙදා තුර ලොව වැඩියෙන් ම කතා බහට ලක් වන නෞකා මුහුදුබත් වීම එය යැයි පැවසීම අතිශයෝක්තියක් නොවෙයි.
එදා ඒ බියකරු, අඳුරු රාත්‍රියේ ටයිටැනික් උතුරු අත්ලාන්තික් සාගරය තුළ ගිලී ගියායින් පසු එහි සුන්බුන් සොයාගනු ලැබුණේ 1985 තරම් මෑත කාලයකයි. මුහුදු මට්ටමින් අඩි 12500ක් යට තැන්පත් වී ඇති එහි අවශේෂ කොටස් අධ්‍යයනය කරමින් ටයිටැනික් මුහුදුබත් වීමේ හරි ම කතාව දැනගන්නට විශේෂඥයන් එදා සිට ම කටයුතු කරමින් සිටියා.
අධික පීඩනය හේතුවෙන් සිත් සේ කිමිදී පහසුවෙන් සොයා බැලීම කළ නො හැකි වූ බැවින් ඡායාරූප ගත කළ හැකි රොබෝ යානා සහ සබ්මැරීන උපකාරයට ගැනුණා. නමුත් මෙසේ ඡයාරූප ගැනීම ද ඇතැම් අවස්ථාවල දී නිෂ්ඵල දෙයක් බවට පත් වූයේ ඒ අවට සාගර පත්ල තුළ රජයූ අඳුර සහ අපැහැදිලි බව නිසයි. කැමරාවත්, ටයිටැනික් අතරත් පැවති මහා ජලකඳ නිසා බොහෝ විට සුපැහැදිලි ලෙස ටයිටැනික් නිරීක්ෂණය කළ හැකි වූයේ නැහැ.
නමුත් පසුගිය දා ටයිටැනික් ගවේෂණ ඉතිහාසයේ නවමු පිටුවක් පෙරළුණේ වඩා පහසුවකින් යුතු ව එහි විශ්ලේෂණ කටයුතු ඉටුකිරීමේ අවකාශය සලසා දෙමින්.
පර්යේෂකයන් පිරිසක් ටයිටැනික් ත්‍රිමාන සිතියම් ගත කර එහි “අංකිත සර්වසමයෙක්” (digital twin) තනන්නට සමත් ව තිබෙනවා. එමඟින් කරදිය නිසා සිදු වන දෘශ්‍ය අවහිරතා මඟහැර ටයිටැනික් විශ්ලේෂණය කිරීමේ අවස්ථාව සැලසෙනවා.
ඔවුන් මේ සඳහා ‘රෝමියෝ’ සහ ‘ජුලියට්’ ලෙසින් නම් කළ ජලජ ඩ්‍රෝන යානා ද්විත්වයක් මඟින් පැය 200ක කාලයක් වැය කර ලබාගත් අධි විභ්දන ඡායාරූප 700,000කට අධික ප්‍රමාණයක් භාවිතා කර තිබෙනවා. මෙසේ නිර්මිත ත්‍රිමාන ආකෘතිය කෙතරම් සුපැහැදිලි දැයි කිවහොත්, එමඟින් ටයැටැනික් තුළ තැන්පත් ව ඇති, පාවහන්, මුද්‍රා නො කැඩූ ශැම්පේන් බෝතල් මෙන් ම අවරපෙති මත සටහන් කර ඇති සීරියල් අංක පවා දැකගත හැකියි.
මේ කටයුත්ත සිදු වූයේ ගැඹුරු සාගරය සිතියම් ගත කරන ආයතනයක් වන Magellan Ltd. හි තාක්ෂණික සහයෝගය ඇතිවයි. එසේ ම Atlantic Productions නමැති චිත්‍රපට නිශ්පාදනාගාරයෙන් ද එයට සහයෝගය ලැබුණා. ඒ සිතියම්ගත කිරීමේ ක්‍රියාවලිය වාර්තා චිත්‍රපටයක් ලෙස පටිගත කරමින්.
ටයිටැනික් සුන්බුන් හැමදාට ම එක ලෙස පවතින්නේ නැහැ. එය සීඝ්රයෙන් දිරාපත් වෙමින් පවතිනවා. එනිසා අද එහි දක්නට ලැබන කුමන හෝ අංගයක් නොබෝ දිනකින් අතුරුදන් ව ගොස් තිබිය හැකියි. මළ කා වර්ධනය වන 𝐻𝑎𝑙𝑜𝑚𝑜𝑛𝑎𝑠 𝑡𝑖𝑡𝑎𝑛𝑖𝑐𝑎𝑒 නම් අලුත සොයාගත් බැක්ටීරියා විශේෂයක් එහි සීඝ්‍ර දිරාපත් වීමට බහුල වශයෙන් වගකිව යුතුයි. දැනට ගණන් බලා ඇති පරිදි 2030 පමණ වන විට ටයිටැනික් සුන් බුන් සියල්ල අතුරුදන් ව යනු ඇති. සැබෑ ලෝකයේ ටයිටැනික් වියෝජනය වී යන බැවින් එහි දැනට පවතින සියලු ලක්ෂණ විස්තරාත්මක ව සටහන් වූ සිතියම් ගත කළ අනුරුවක වටිනාකම අමිලයි.
Park Stephenson නමැති ටයිටැනික් විශ්ලේෂකයා පවසන පරිදි මෙය ටයිටැනික් මුහුදුබත් වීම පිළිබඳ “උපකල්පනයෙන් තොර සාධක මත පදනම් වූ පර්යේෂණයන්ගේ සංධිස්ථානයක්” වනවා.
Popular Mechanics ඇසුරෙනි.
සත්‍ය හෙට්ටිආරච්චි