Home Science News ක්වීන්ස්ලන්ත අහස ආලෝකමත් කරමින් උල්කාවක් පුපුරා යයි

ක්වීන්ස්ලන්ත අහස ආලෝකමත් කරමින් උල්කාවක් පුපුරා යයි

by Sathya

පසුගිය සෙනසුරාදා රාත්‍රියේ ඔස්ට්‍රේලියාවේ උතුරු ක්වීන්ස්ලන්ඩ් අහසේ ඇදී ගිය උල්කාපාතයක් ධ්වනි තරංගයක් ඇති කරමින් පුපුරා ගොස් තිබෙනවා. ජංගම දුරකථන, ඩෑෂ් කැම් මෙන් ම ආරක්ෂණ කැමරා පද්ධතිවල සටහන් වූ එහි දර්ශන රැගත් වීඩියෝ පට මේ වන විට සමාජ මාධ්‍ය තුළ කතා බහට ලක් වෙමින් තිබෙනවා.

ක්වීන්ස්ලන්ඩ්හි පිහිටි Cairns ගුවන්තොටෙහි කැමරා පද්ධතියේ සටහන් වූ වර්ණ දෘශ්‍ය පසුරක දැක්වෙන්නේ එරට වේලාවෙන් රාත්‍රී 9.22ට අහසේ ආලෝක රේඛාවක් ඇති කරමින් ඇදී ගිය මේ වස්තුව සුළු මොහොතක ඇවෑමෙන් කොළ – නිල් ආලෝකයක් විහිදුවමින් පුපුරා යන අයුරුයි.

ගුවන්තොටෙන් කිලෝමීටර 500ක් බටහිරට වන්නට පිහිටා ඇති කුඩා නගරයක් වන Croydonහි ප්‍රදේශවාසීන් පවසා ඇත්තේ ඔවුන්ට පිපුරුම නිසා හටගත් සැණෙළිය දිස් වී මිනිත්තු තුනකට පමණ පසු පිපුරුම් හඬ කන වැකුණු බවයි.

ඔස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ තාරකාභෞතික විද්‍යාඥයෙකු වන ආචාර්ය බ්‍රැඩ් ටකර් (Brad Tucker) මාධ්‍යයට පවසා ඇති පරිදි මෙසේ පුපුරා ගිය උල්කාපාතය ප්‍රමාණයෙන් මීටර 0.5 සිට 1 දක්වා විශාලත්වයෙන් යුතු වනවා. පුපුරා යන විට එය ගමන් කර ඇත්තේ පැයට කිලෝමීටර 150,000ක ප්‍රවේගයකින්. ඉන් ඇති කළ කොළ පැහැයට හුරු ආලෝකයෙන් පැවසෙන්නේ එහි සංයුතිය තුළ නිකල් සහ යකඩ බහුල වශයෙන් අඩංගු බවයි.

ටකර් පවසන්නේ මේ උල්කාව නිසා පෘථිවිය මතුපිට ආවාටයක් ඇති නො වන්නට ඇති බවයි. ඒ එය පොළොව මට්ටමට ළඟා වන විටත් කුඩා කැබැලි ගණනාවකට ම විභේදනය වී තිබෙන්නට ඇති බව සැලකිල්ලට ගෙනයි. ‘මේක වායුගෝලයේ දී සිදු වූ පිපුරුමක්. මෙහෙම දෙයක් ජනාකීර්ණ ප්‍රදේශයකට ඉහළ දී සිදු වුණොත් හානි පැමිණවෙන්න පුළුවන්. මේක බොහොම පොඩි උල්කාවක්. නමුත් අපි තැවෙන්නේ මීටර 10ත් 20ත් අතර උල්කාපාත ගැනයි.’ ඔහු The Guardian වෙත සඳහන් කරනවා.

ටකර් බිය පළ කරන ආකාරයේ මීටර 20ක් පළලැති උල්කාපාතයක් 2013 වසරේ දී රුසියාවේ Chelyabinsk නගරය‌ට ඉහළින් පුපුරා ගියා. විද්‍යාඥයන් මේ වන විට ගණනය කර ඇති පරිදි ඉන් නිදහස් වූ ශක්තිය TNT කිලෝටොන් 500කින් නිකුත් වන ශක්තියට සමානයි. එහි කම්පන තරංගය මිනිසුන් උන්හිටි තැන්වලින් විසි කර දැමීමට සමත් වූ අතර ගොඩනඟිලි 3600කට අධික ගණනක ජනෙල ද ඇතැම් කර්මාන්තශාලාවල වහල ද බිඳ දැමුවා. වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතු තරමේ තුවාල කරුවන් 1491ක් වාර්තා වුණා. හිරු මෙන් 30 ගුණයක දීප්තියක් ඇති වීම නිසා අභිකේන්ද්‍රයට සැතපුම් 18ක දුරින් සිට නිරීක්ෂණය කළ අයගේ පවා සමෙහි පිළිස්සුම් සලකුණු සටහන් ව තිබුණා.

The Guardian ඇසුරෙනි.

සත්‍ය හෙට්ටිආරච්චි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications