Home Science News සටහන් පොතක ස්වරූපයෙන් යුතු පාෂාණයක් රතු ග්‍රහයා මතින් හමු වේ

සටහන් පොතක ස්වරූපයෙන් යුතු පාෂාණයක් රතු ග්‍රහයා මතින් හමු වේ

by Sathya

අඟහරු මත ගවේෂණ කටයුතු සිදු කරන කියුරියෝසිටි රෝවරයේ කැමරා කාචයට අපටු හුරු පුරුදු පෙනුමකින් යුතු පාෂාණයක් හසු වී තිබෙනවා. සෙන්ටිමී‍ටර 2.5 ක දිගකින් යුතු වූ එය පිටු පෙරළෙමින් තිබෙන කුඩා සටහන් පොතක ස්වරූපයෙන් යුක්තයි. කියුරියෝසිටිට මේ අමුත්තා හමු වී තිබෙන්නේ ගේල් ආවාටය (Gale Crater) තුළ දී යි.

එංගලන්තයේ විවෘත විශ්වවිද්‍යාලයේ ඛණිජ විද්‍යාඥ සුසේන් ශුවෙන්සර් (Susanne Schwenzer) පවසන පරිදි මේ හැඩයට හේතු වි තිබෙන්නේ අඟහරු මත ඇති සුළඟ, ජලය සහ මිනිස් මොළයයි. අඟහරු මත හමු වන බහුතර පාෂාණ හුසු සිත් නො ගන්නා අක්‍රමවත් හැඩයෙන් යුතු වුවත් ඉඳ හිට හමු වන මේ ආකාරයේ පාෂාණවල සුවිශේෂිත හැඩය නිසා අපේ මනස නිරායාසයෙන් ම අප දැක පුරුදු හැඩතල ඊට අනුරූපව ගලපා ගන්නවා. මේ සංසිද්ධිය හැඳින්වෙන්නේ pareidolia නමින්. 1976 දී වයිකිං 1 අඟහරු ගවේෂණ යානය මඟින් ලබාගත් ඡායාරූපයක් මේ සංසිද්ධිය ඉහළින් ම උලුප්පා දක්වන්නට සමත් වුණා. ඒ දැවැන්ත මුහුණක පෙනුමින් යුතු යමක් අඟහරු මතුපිටින් දිස් වීමත් සමඟයි. නමුත් පසු කාලීන ව ලබාගත් වඩාත් සුපැහැදිලි ඡායාරූප මඟින් අනාවරණය වූයේ එය වැලි පරයක් බවයි. මේ ආකාරයෙන් ම ගෙවල් දොරවල්, ජනෙල, මුහුණු සහ මෝරුන්ගේ දත් වැනි වූ විවිධාකාර ස්වරූපයෙන් යුතු පාෂාණ අති විශාල ගණනක් මේ වන විට අඟහරු මත දී නිරීක්ෂණය වී තිබෙනවා.

කියුරියෝසිටි මේ ‘පොතේ’ ඡායාරූපය ගෙන තිබෙන්නේ පසුගිය අප්‍රේල් 15 දා යි. විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ එයට වසර බිලියන හතරක පමණ දිගු ඉතිහාසයක් තිබෙන බවයි. එනම් එහි උපත ගේල් ආවාටයේ පත්ල නිර්මාණය කළ අවසාදිතයන් තැන්පත් වූ සමයට ම ඇදී යනවා. ඒ සමයේ ගේල් ආවාටය අවට ප්‍රදේශයේ ද්‍රව ජලය පැවති අතර ඒවා කුහර අතර ඛණිජ තැන්පත් කරමින් පාෂාණ අතරින් ගලා ගොස් තිබෙන බව උපකල්පනය කෙරෙනවා. Schwenzer පවසන්නේ එමඟින් පාෂාණ අභ්‍යන්තරයේ ඇති එකිනෙකට නො ගැලපෙන ස්වභාවයෙන් යුතු ගුණාංගවලට හේතුව පැහැදිලි කළ හැකි බවයි. පසු කාලීන ව මේ පාෂාණ මතුපිටට නිරාවරණය වීමත් සමඟ හමන සුළඟ සමඟ ඝර්ෂණයට ලක් වීම නිසා ඒවායේ ඇති සැහැල්ලු සංයුතීන්ගෙන් යුතු කොටස් ගෙවී ගොස් තිබෙනවා.

පොතේ පෙරළෙමින් පවතින පිටුවක් පිළිබිඹු වන කොටස නිර්මාණය වන්නට ඇත්තේ උල්කා ගැටුම් නිසා පාෂාණ අතර ඇති වන ක්ෂණික පැලුම් අතරට ඛණිජ තරල තැන්පත් වීමෙන් බවයි ඇය පෙන්වා දෙන්නේ. එලෙස තැන්පත් වන ඛණිජ අවට ඇති පාෂාණයට වඩා සවිමත් නම් දිරාපත් නො වී රඳා සිටීමට හැකියාව ලබනවා.

ගේල් ආවාටය හටගෙන ගත වූ මුල් වසර බිලියනය හෝ කිහිපය තුළ එය තෙතබරිත ව මෙන් ම වියළි ව ද පැවතවිත් තිබෙනවා. අවසන් වරට එහි ජලය ගැවසුනේ අදින් වසර බිලියන 2.6 කට පෙරයි. ඒ එතැන් පටන් මේ වන තුරු ම ‘පිළිම ඇඹීමේ’ කර්තව්‍යය සුළඟට භාර කරමින්.

Scientific American ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications