Home Science News ප්‍රධාන ග්‍රහක පටිය තුළින් පළමු වරට ජල වාෂ්ප හඳුනා ගැනෙයි

ප්‍රධාන ග්‍රහක පටිය තුළින් පළමු වරට ජල වාෂ්ප හඳුනා ගැනෙයි

by Sathya

මෙයට පෙර ප්‍රධාන ග්‍රහක පටියේ ජල අයිස් ඇති බව හඳුනාගෙන තිබුණත් මෙතෙක් එහි ජල වාෂ්ප ඇති බව හඳුනාගෙන තිබුණේ නැහැ.
එහෙත් දැන් ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයට ස්තුති වන්නට ප්‍රධාන ග්‍රහක පටිය තුළින් ජල වාෂ්ප සොයාගෙන තිබෙනවා.
එහි තිබෙන දුර්ලභ ධූමකේතු වලින් එකක් වන 238P/ Read නම් ධූමකේතුවෙන් ජල වාෂ්ප පිට කෙරෙන බව ජේම්ස් වෙබ් දුරේක්ෂය අනාවරණය කරනවා.

මෙය ප්‍රධාන ග්‍රහක පටියේ ධූමකේතුවකින් ඌර්ධවපාතනය එනම් ඝන අවස්ථාවේ ජල අයිස් ද්‍රව නො වී කෙළින් ම වායු අවස්ථාවට පත්වීම පිළිබඳ ප්‍රථම ඍජු සාක්ෂ්‍යය වෙනවා.

සැබවින් ම ප්‍රධාන ග්‍රහක පටිය තුළ විවිධ වර්ගවලට අයත් ග්‍රහක මිස ධූමකේතු විශාල ගණනක් හඳුනාගෙන නැහැ.

Read ධූමකේතුවේ කක්ෂය මුළුමනින් ම වාගේ පිහිටා තිබෙන්නේ ග්‍රහක පටිය තුළයි.
එහෙත් එම සීමිත කක්ෂයේ පවා ධූමකේතුව වඩාත් හිරුට ළංවන සූර්ය සමීපක පිහිටුමකට එය එළැඹෙන අවස්ථාවක් එහි පරිභ්‍රමණයේ දී උදා වනවා.

පසුගිය මැයි 15 වැනි දින Nature ජර්නලයේ මේ පිළිබඳව පළ කර ඇති පර්යේෂණ වාර්තාවේ ප්‍රධාන කතුවර එක්සත් ජනපදයේ මේරිලන්ඩ් සරසවියේ තාරකා විද්‍යාඥ මයිකල් කෙලීෙගේ නායකත්වයෙන් යුත් පර්යේෂකයන් කණ්ඩායමක් Read ධූමකේතුවේ සූර්ය සමීපකයේ දී ජේම්ස් වෙබ් දුරේක්ෂය ආධාරයෙන් එහි න්‍යෂ්ටියෙන් ජල වාෂ්ප පිට කිරීම පිළිබඳව සලකුණු හඳුනාගෙන තිබෙනවා.

දුරේක්ෂයට අයත් සමීප අධෝරක්ත වර්ණාවලීක්ෂය යොදා ගනිමින් සූර්ය සමීපකයේ දී ධූමකේතුව වටා පිහිටන අපැහැදිලි මීදුමක් වැනි ආලෝකයේ වර්ණාවලිය විශ්ලේෂණය කරනු ලැබුවා. ධූමකේතුව ස්ථිර වශයෙන් ම ජල වාෂ්ප විමෝචනය කෙරෙන බව ඉන් අනාවරණය කරගනු ලැබුවා.
සෞරග්‍රහ මණ්ඩලයේ මුල දී පෘථිවියට ලැබුණු ජලයේ ප්‍රභවය ප්‍රධාන ග්‍රහක පටියේ මෙවැනි ධූමකේතු විය හැකි බව කියැවෙන කල්පිතයේ සත්‍යතාව පරීක්ෂා කිරීමට මෙවැනි නිරීක්ෂණ වැදගත් වෙනවා.

මේ සමග ඇති ඡායාරූපයේ දැක්වෙන්නේ ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයේ නෙතට හමු වූ Read ධූමකේතුවයි.

Science alert ඇසුරෙනි.

ප්‍රේමශාන්ත කුමාරසිරි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications