අපේ සිතට නැඟෙන ඩයිනෝසෝරයින් අතුරින් රජ කිරුළ දරන්නේ Tyrannosaurus rex බව අමුතුවෙන් මතක් කළ යුතු නො වන්නේ ඔවුන්ට තිබූ රෞද්‍ර පෙනුම උදුරා ගන්නට වෙනත් කිසිදු සතෙක් මේ වන තුරු ම සමත් වී නැති නිසයි. නවතම අධ්‍යයනයකින් සොයාගෙන ඇත්තේ ග්‍රහක ඝට්ටනය සිදු වන්නට පෙර පෘථිවිය මත ටයිරනෝසෝරසයින් බිලියන 1.7ක් දිවි ගෙවූ බවයි.
බිලියන 1.7 යනු සුළුපටු සංඛ්‍යාවක් නොවෙයි. නමුත් එය 2021 දී ගණනය කර තිබූ ගහනයට වඩා මිලියන 800කින් පමණ අඩු සංඛ්‍යාවක්. මේ විශ්ලේෂණය පාදක වන්නේ මේ වන තෙක් T. rex ලා ගැන රැස් කරගෙන ඇති නවතම දත්තයි. ඔවුන්ගේ වර්ධනය සහ ප්‍රජනනය පිළිබඳ යාවත් කාලීන වූ දැනුම මේ අතරින් විශේෂ කාර්ය භාරයක් ඉටු කළා.
‘නවතම මොඩලය වගේ නෙවෙයි, පෙර (2021) ගණනය කිරීම් සඳහා යොදාගත් මොඩලය සහ ඔවුන්ගේ ජනන කාලය, ජීවන පරාසය, ප්‍රජනන වේගය ආදී පරාමිතීන් ඔස්සේ ලබාගත් දත්ත, T.rexලාගේ යාවත් වූ ජීවවිද්‍යාත්මක තොරතුරු සමඟ පෑහෙන්නේ නැහැ.’ නව මොඩලය ඉදිරිපත් කළ ජර්මනියේ ජොහැන්නස් ගුටෙන්බර්ග් සරසවියේ පරිණාමීය පරිසර විද්‍යාඥ Eva Griebeler පෙන්වා දෙනවා.
කෙසේ නමුත් 2021 දී සිදු කළ ගණනය එක හෙළා ම අමතක කර දැමිය නො හැකි බව ද අප මතක තබා ගත යුතුයි. ඒ එය එවැනි සංගණනයක පළමු වැන්න වීම නිසා සංධිස්ථානයක් වීම නිසා මෙන් ම තවත් වැදගත් වලංගු දත්ත බොහෝ ගණනක් අඩංගුව තිබීම හේතුවෙන්.
නව ගණනය කිරීම් මඟින් T.rexගේ පරම්පරා ගණන, එක් සත්ත්වයෙකු ලන බිත්තර සංඛ්‍යාව සහ නො නැසී පැවතීමේ හැකියාව ආදී පරාමිතීන් ගණනාවක අගය අඩු වී තිබෙනවා. මේ සඳහා වඩාත් ගැඹුරෙන් සිදු කෙරෙන ෆොසිල අධ්‍යයනයන්‍ගෙන් අනාවරණය කරගත් නවතම තොරතුරු උපකාරී වී තිබෙනවා.
2021 වසරේ T.rex ඩයිනෝසෝරයන්ගේ ගහනය ගැන එස්තමේන්තු කළ පාෂාණධාතුවේදී චාල්ස් මාෂල් ද නව මොඩලය මඟින් කළ බිලියන 1.7ක ගණනය වඩාත් නිරවද්‍ය බව පිළිගෙන තිබුණා.
Science Alert ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්