සෝල්දාදුවන්ගේ නිමාවෙන් යුතු සෙල්ලම් ලෙගෝ කැට දහසක් අභ්‍යවකාශයේ මායිම ආසන්නයට පියාසර කළ පුවතක් ස්ලෝවැකියාවෙන් වාර්තා වනවා. ඒවා ගුවන්ගත වූයේ පසුගිය 20 වැනි දා ස්ලෝවැකියාවේ පිහිටා තිබෙන කුඩා ගුවන්තොටුපොළක සිටයි.
ත්‍රිමාන මුද්‍රණය කරන ලද ශටලයක ආකාරයේ ඇටවුමක් මත සවි කළ ලෙගෝ සොල්දාදුවන් 330කට ආසන්න ප්‍රමාණයක් බැගින් වාර තුනක දී ගුවන් ගත කරනු ලැබුණේ ආවර්තගෝලය දක්වා පියාසර කළ හැකි බැලූන තුනක් මඟින්. ලෙගෝ රූප ද සහිත ශටලයේ බර කිලෝග්‍රෑම් 3කට වැඩි වූයේ නැහැ. එය නිමවා තිබුණේ කාබන් ෆයිබර්, වානේ සහ ප්ලාස්ටික් යොදාගෙනයි.
මේ අපූරු පියාසැරිය ක්‍රියාවට නැංවුණේ ස්ලෝවැකියාවේ සහ චෙක් ජනරජයේ අභ්‍යවකාශ ගෘහ නිර්මාණ ශිල්පීන් මෙන් ම ඉංජිනේරුවන් පිරිසක් විසින්. XTEND DESIGN නමැති ගෘහ නිර්මාණකරණ ආයතනයේ සැලසුම් ශිල්පියෙකු වන Tomas Rousek කණ්ඩායමට නායකත්වය සැපයුවා. මේ අමුතු තාලයේ මෙහෙයුම තුළින් මීළඟ පරම්පරාව තුළ අභ්‍යවකාශය පිළිබඳ ඉගෙනීම ගැන ප්‍රෙබා්ධයක් ඇති කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබුණා.
බැලූන මඟින් ලෙගෝ සොල්දාදුවන් කිලෝමීටර 34ක් තරම් උපරිම උන්නතාංශයකට රැගෙන එනු ලැබුණා. අනතුරුව සැලසුම් කළ පරිදි බැලූන පුපුරා ගිය අතර වහලයක් නැති ශටලය සැලකිය යුතු දුරක් නිදැල්ලේ ඇදහැලීමට ඉඩ හැර පැරෂුට් ක්‍රියාත්මක වී සුමට ලෙස පොළොවට පහත් වුණා. ඊට ම සවි කළ කැමරා දෙකක් මඟින් මුළු චාරිකාව ම පටිගත කෙරුණා.
වහලයක් නැති ශටලයක අනුකරණයෙන් තැනූ ඇටවුම මත සවි කර තිබූ ලෙගෝ කැට සෑම විටෙක ම පැවතියේ පිටතට නිරාවරණය වෙමින්. ක්‍රියාකාරකම සඳහා දායකත්වය දැක්වූ Kreativ Gang නමැති අලෙවිකරණ ඒජන්සියේ විධායක නිලධාරියෙකු වන Dominik Matusinskyට අනුව ශටලය පහළ බැසීමේ මුල් අවධියේ දී ලෙගෝ කැට පිටතට ගැලවී යාම වළක්වා ගැනීම වෙනුවෙන් විශේෂ අවධානයක් ලබා දෙන්නට සිදු වී තිබෙනවා.
‘බැලූනය පුපුරා යාමෙන් පසු ලෙගෝ රූප ශටලය තුළ ම තබා ගැනීම ලොකු අභියෝගයක් වුණා. අපට ඕනෑ වුණේ ඒවා කිසිම විදිහකින් ආවරණය නො කර අභ්‍යවකාශයට නිරාවරණය වෙන විදිහට තියන්නයි. නමුත් පැරෂූට් දිග ඇරෙන්නට කලින්, නිදැල්ලේ ඇද වැටෙන අදියරේ දී ඒවා 300km/h වේගය ඉක්මවූවා.’ Matusinsky සඳහන් කරනවා.
මේ සඳහා යොදාගත් ලෙගෝ සොල්දාදුවන් මේ වන විට චෙක් ජනරජයේ සහ ස්ලෝවැකියාවේ අලුත් ලෙගෝ කට්ටලයක් මිළ දී ගන්නා සෑම කෙනෙක් ම ඇතුළත් වන පරිදි සංවිධානය වූ දිනුම් ඇදීමේ තරගයක ත්‍යාගය ලෙස නම් කර තිබෙනවා.
Space.com ඇසුරෙනි.
සත්‍ය හෙට්ටිආරච්චි