නිව් යෝර්ක් හි රොක්ෆෙලර් සරසවියේ විද්‍යාගාරයක් තුළ ඇති කළ බූවල්ලෙක් නපුරු සිහිනයකින් අවදි වූයේ යැයි සිතිය හැකි හැසිරීම් රටාවක් ප්‍රකට කළ බව එහි කටයුතු කරන පර්යේශකයන් අධ්‍යයන පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් සඳහන් කරනවා. කොස්ටෙලෝ ලෙස නම් කර ඇති මේ බූවල්ලා සහිත ටැංකිය පැය 24 පුරා ම පටිගත කෙරෙමින් පැවතුණා.
මෙහි දී පර්යේෂකයන්ට පෙනී ගොස් තිබුණේ අවස්ථා හතරක දී ම කොස්ටෙලෝ නින්දෙන් ඉතා ව්‍යාකූල අන්දමින් අවදි වී කලබලකාරී ලෙස හැසිරෙන්නට වූ බවයි. සිරුරේ වර්ණය වෙනස් කරමින් සහ ග්‍රාහිකා ප්‍රචණ්ඩකාරී ලෙස හසුරුවමින් නිදා සිටි තැනින් විතැන් වූ ඔහු අවස්ථා දෙකක දී ම සිය ආත්මාරක්ෂණ මෙවලම වූ කළු පැහැති තීන්තය මුදා හරින්නට ද කටයුතු කළා. එහි දී පර්යේෂකයන් නිරීක්ෂණය කර තිබුණේ බූවල්ලා විලෝපික හැසිරීම් රටා මෙන් ම ප්‍රතිවිලෝපීය (antipredator – යම් සතුරු ජීවියෙකුගේ ග්‍රහණයට හෝ ප්‍රහාරයකට ලක් නො වී සිටීමට වෑයම් කිරීම) ගති ලක්ෂණ ද විදහා පෑ බවයි.
එය තාවකාලික හැසිරීම් රටාවක් වූ අතර සුළු මොහොතකින් කොස්ටෙලෝ යළි යථා තත්ත්වයට පත් ව තිබුණා. පර්යේෂකයන් සඳහන් කරන්නේ මෙය නින්දේ දී දුටු නපුරු සිහිනයකට ඔහු දැක්වූ ප්‍රතිචාරයක් විය හැකි බවයි.
‘ඒක බොහොම අසාමාන්‍ය සිදු වීමක් වුණා. ඒ ඒ මොහොත තුළ ඔහු දැඩි වේදනාවකින් සහ විඳවමින් සිටින බවක් පෙනී යාම නිසයි’ පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකයෙකු වන එරික් ඒන්ජල් රමෝස් සඳහන් කරනවා. ‘සිදුවීමෙන් සිළු මොහොතකට පසු කිසිදෙයක් නො වුණු ගාණට ඔහු දවස ගත කළා.’
ස්වභාවික පරිසර පද්ධතියේ සිට විද්‍යාගාරය වෙත රැගෙන එන විට කැලිස්ටෝ බරපතල තුවාලවලට මුහුණ දී විඳවමින් සිට තිබුණා. ඔහුගේ ග්‍රාහිකා දෙකක බහුතරය විනාශ වී විච්ඡේදනය වී ගොස් තිබුණේ දරුණු විලෝපික ප්‍රහාරයකට මුහුණ දී ඇති අන්දමින්.
පර්යේෂකයන් පෙන්වා දෙන්නේ මෙවැනි සිදු වීම්වලට මුහුණ දුන් සතුන්ගෙන් ‘දිගු කාලීන චර්යාත්මක සහ ස්නායුක අධික්‍රියාකාරීත්වයන්’ දිස් වන බව මීට පෙර කරන ලද අධ්‍යයනයන් මඟින් සොයාගෙන ඇති බවයි. කොස්ටෙලෝටත් එය ම සිදු වන්නට බොහෝ ඉඩකඩ තිබෙන බවයි ඔවුන් සඳහන් කරන්නේ. කෙසේ නමුත් මේ අධ්‍යයන පත්‍රිකාව තවමත් සමපදස්ථ විමර්ෂණයකට (peer review) ලක් කොට නැහැ. මේ අසාමාන්‍ය හැසිරීම් රටාව ප්‍රකට කළ කාල සීමාවෙන් නොබෝ කලක දී කොස්ටෙලෝ මිය ගොස් තිබෙනවා.
සැන්ෆ්‍රැන්සිස්කෝ ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාරයවරයෙකු මෙන් ම ජීවවිද්‍යාඥයෙකු ද වන රොබින් කෘෘක් පෙන්වා දෙන්නේ මෙය බූවල්ලාගේ වෘද්ධතාව හේතුවෙන් හටගත් යමක් මිස සිහින දැකීමක් නිසා සිදු වූවක් නො විය හැකි බවයි. එනම් ජීවන චක්‍රෙය් අවසානය ළං වන විට ශරීරයේ සිදු වන දුර්වලතාවන් නිසා සිදු වූ ක්‍රියාකාරිත්වයක් විය හැකි බවයි.
අධ්‍යයන පත්‍රිකාව ඉදිරිපත් කළ රොක්ෆෙලර් සරසවියේ සරසවියේ පර්යේෂකයන් ද සඳහන් කරන්නේ නියත නිගමනයකට අවතීර්ණ වීමට නියැදිය ප්‍රමාණවත් නොවන බැවින් අනාගතයේ දී තවත් බූවල්ලන්ගේ දෛනික හැසිරීම් රටා නිරීක්ෂණයට බඳුන් කළ යුතු බවයි.
Science Alert සහ Smithsonian Magazine ඇසුරෙනි.
සත්‍ය හෙට්ටිආරච්චි