මෙතෙක් කල් වාර්තාගත ඉතිහාසය තුළ බ්‍රිතාන්‍යය මුහුණ දුන් පැරණිතම වසංගත තත්ත්වය ලෙස සැලකෙන්නේ ක්‍රිස්තු වර්ෂ 541 දී පැතිර ගිය ජස්ටිනියන් වසංගතයයි. Yersinia pestis බැක්ටීරියාව නිසා හටගත් එය මුළු මහත් යුරෝපයමත්, මධ්‍යධරණී ද්‍රෝණියත් සිය අණසකට යටත් කරගත්තා.
නමුත් නවතම පර්යේෂණයකින් බ්‍රිතාන්‍යය වෙළාගත් වසර 4000ක් පැරැණි වසංගතයක සාධක සොයාගෙන තිබෙනවා. ජස්ටිනියන් වසංගතයටත් වඩා වසර දහස් ගණනක් ඈතට ඇදී යන මෙය නතර වන්නේ මුල් කාලීන ලෝකඩ යුගය තුළයි.
එංගලන්තයේ කම්බ්‍රියා සහ සමර්සෙට් ප්‍රදේශ ආසෙන්නයේ පිහිටන ඉපැරණි සුසාන භූමි දෙකකින් ලබාගත් නියැදි මඟින් මේ බව සනාථ කරගනු ලැබුණේ ලන්ඩනයේ ෆ්‍රැන්සිස් ක්‍රික් ආයතනයේ පස්චාද් උපාධි අපේක්ෂිකාවක වන පූජා ස්වාලි විසින්. ඇය විසින් මේ සොයාගැනීම පිළිබඳ අධ්‍යයන වාර්තාව Nature Communications ජර්නලයේ පළ කරනු ලැබ තිබෙනවා.
ඇයත් ඇගේ පර්යේෂණ සගයනුත් උක්ත සුසාන භූමි ද්විත්වයෙන් ගොඩගත් අස්ථි කොටස් 34ක දන්ත පල්පවලින් ලබාගත් DNA විශ්ලේෂණයට ලක් කළා. සුසාන භූමි දෙකෙහි තිබී හමු වූ වයස අවුරුදු 35ත් 45ත් අතර මියගිය කතකගේ සහ වයස අවුරුදු 10ත් 12ත් අතර දී මිය ගිය කුඩා දරුවන් දෙදෙනෙකුගේ ම අස්ථිවලින් වසංගතය පැතිරූ ව්‍යාධිජනක බැක්ටීරියාවන්ගේ සාධක හමු වුණා. ඒ ද ජස්ටිනියානු වසංගතය ඇති කළ Yersinia pestis බැක්ටීරියාව ම යි.
විවිධ මූලද්‍රව්‍යයන්ට නිරාවරණය වූ විට ඉතා ඉක්මණින් DNA දිරාපත් ව යන නිසා බැක්ටීරියාව නිරීක්ෂණය වූ අස්ථි ගණන සීමිත වුවත් එහි වළ දමා තිබූ අනෙකුත් සිරුරු ද වසංගතය ආසාදනය වූවන්ගේ වීමට බොහෝ ඉඩකඩ තිබෙනවා.
ස්වාලිට මේ සොයාගැනීමේ ඇති සුවිශේෂත්වය වඩාත් පැහැදිලි ව දැනුණේ සිය විද්‍යාගාරයේ තරමක් රෑ බො වන තුරු පර්යේෂණය වෙනුවෙන් ඇලී ගැලී සිටින විටයි. ‘ඒක තමයි මගේ යුරේකා අවස්ථාව. ඒ ඒ හැඟීම බෙදා ගන්න එතන කවුරුත් ම හිටියෙ නැහැ.’ ඇය සඳහන් කරනවා. ‘බ්‍රිතාන්‍යය තුළ පැතරි ගොස් තිබූ පැරණිතම වයිරසයේ ජිනෝමය මේකයි’
පෙර සිදු කරන ලද අධ්‍යයනයන් මඟින් අදින් වසර 2500ත් 5000ත් අතර කාලයේ යුරේසියාව තුළ පැතිර ගිය වසංගත පිළිබඳ සොයාගෙන ඇතත් එතරම් කාලයකට ඉහත සිදු වූ වසංගතයක බලපෑම බ්‍රිතාන්‍යයට ද දැනුණු බවක් මේ වන තුරු ම හමු වී තිබුණේ නැහැ.
The Guardian ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්