Home Science News ක්‍රිස්තු පූර්ව යුගයක සිට පැවතෙන පෘථිවියේ අර්ධ චන්ද්‍රෙයකු සොයා ගැනේ

ක්‍රිස්තු පූර්ව යුගයක සිට පැවතෙන පෘථිවියේ අර්ධ චන්ද්‍රෙයකු සොයා ගැනේ

by Sathya

හිරු වටා යන ගමනේ දී පෘථිවියත් සමග ම ගමන් ගන්නා ග්‍රහකයක් සොයාගන්නට විද්‍යාඥයන් මෑතක දී සමත් වුණා. 2023 FW13 යනුවෙන් නාමකරණයට ලක් ව ඇති එය පෘථිවියේ ‘අර්ධ චන්ද්‍රෙයක්’ නැති නම් ‘අර්ධ උපග්‍රහයෙක්’ ලෙස හැඳින්විය හැකියි. එනම් එය හිරු වටා ගමන් කරන්නට ද වැය කරන්නේ පෘථිවියට අතිශය සමාන කාල රාමුවක්.

2023 FW13 මීටර 15ක පමණ විෂ්කම්භයකින් යුතු බවට ගණන් බලා තිබෙනවා. දළ වශයෙන් පැවසුවොත් එකිනෙකට ගෑවෙන පරිදි දිගු අතට නවතා ඇති SUV රථ තුනක විශාලත්වයක් එය සතුයි.

හිරු වටා යන ගමනේ දී එය පෘථිවිය වටා පරිභ්‍රමණය ද වනවා. ඒ පෘථිවියේ සිට කිලෝමීටර මිලියන 14ක දුර පරතරයක් පවත්වා ගනිමින්. පෘථිවියේ සැබෑ චන්ද්‍රයා කිලෝමීටර 3,474ක විෂ්කම්භයකින් සමන්විත බවත්, පිහිටන්නේ කිලෝමීටර 364,000කට එහායින් බවත් සිහියට ගැනීමෙන් ඔබට මේ අර්ධ චන්ද්‍රයාගේ කුඩා බව සහ දුරස් බව පිළිබඳ අදහසක් ලබාගත හැකි වනු ඇති.

2023 FW13 ග්‍රහකය මුලින් ම නිරීක්ෂණය කරනු ලැබුණේ හවායි හි Haleakalā යමහල් කඳු ශිඛරය මත පිහිටුවා ඇති Pan-STARRS නිරීක්ෂණාගාරය මඟින්. පසුගිය අප්‍රේල් 1 දා අභ්‍යවකාශ වස්තූන් නම් කිරීම සඳහා බලය ඇති International Astronomical Union විසින් එය නිල වශයෙන් ලයිස්තුගත කෙරෙන්නට පෙර හවායිහි තිබෙන Canada-France-Hawaii Telescope නිරීක්ෂණාගායෙන් සහ ඇරිසෝනා ප්‍රාන්තයේ පිහිටා ඇති තවත් නිරීක්ෂණාගාර දෙකකින් එහි පැවැත්ම තහවුරු කරගනු ලැබුණා.

අවම තරමින් එය අපගේ අසල්වාසී අර්ධ උපග්‍රහයෙකු ලෙසක්‍රිස්තු පූර්ව 100 සිට වත් පැවත එන්නට ඇති බව ඇතැම් ගණනය කිරීම් යෝජනා කරනවා. එය ‘අර්ධ චන්ද්‍රයෙකු’ බවට මුලින් ම මත පළ කළ අයෙකු වන තාරකාවිද්‍යාඥ Adrien Coffinet පවසන්නේ 2023 FW13 ක්‍රිස්තු වර්ෂ 3700 පමණ වන තුරු ම සිය කක්ෂීය පිහිටුමේ සිටිනු ඇති බවයි. ‘පෙනෙන හැටියට ඒක මේ වන තෙක් පෘථිවිය සතු ව දීර්ඝතම කාලයක් රැඳී තිබූ අර්ධ චන්ද්‍රයායි’ ඔහු පවසනවා.

මෙය පෘථිවිය සතු එක ම අර්ධ චන්ද්‍රයා නොවෙයි. 2016 දී සොයාගත් Kamo’oalewa නමැති තවත් ග්‍රහකයක් තවත් අර්ධ චන්ද්‍රෙයකු වශයෙන් එහි තනියට සිටිනවා. 2021 වසරේ දී සොයාගත් පරිදි එය නම් අපගේ චන්ද්‍රයාගෙන් ම ගිලිහී ගිය කොටසක්.

විද්‍යාඥයන් සඳහන් කරන පරිදි 2023 FW13ගේ කක්ෂය කිසි විටෙකත් පෘථිවියේ ගමන් මඟ ඡේදනය කරන්නේ නැහැ.

Live Science ඇසුරෙනි.

සත්‍ය හෙට්ටිආරච්චි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications