ක්ෂීරපථ මන්දාකිණියේ මධ්‍යය වෙත යොමු වන සම්භවය නිෂ්චිත නො වන මෙන් ම පියවි ඇසට ද නිරීක්ෂණය නො වන දිගු ව්‍යුහයන් සිය ගණනක් සොයාගන්නට තාරකා විද්‍යාඥයන් සමත් ව තිබෙනවා. ඒවා තන්තුමය ස්වරූපයකින් යුක්ත වන අතර මන්දාකිණිය මැද පිහිටන Sagittarius A කළු කුහරය වෙත එල්ල වන බව පෙනී යනවා.
පසුගිය 2 වැනි දා The Astrophysical Journal Letters ජර්නලයේ මේ සොයාගැනීම දැක්වෙන පත්‍රිකාව පළ වී තිබුණා. එයට අනුව මෙසේ සොයාගනු ලැබූ ව්‍යුහයන් ආලෝක වර්ෂ 5 සිට 10 දක්වා දිගකින් යුතු වනවා. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 25,000ක් තරම් දුරින් චක්‍රාවාටික මධ්‍යයේ සිට විසිරි ඇති මේවා සිහිපත් කරන්නේ යෝධ රෝදයකින් ගැලවී ගිය ස්පෝක් කම්බි කූරුයි.
මේ ව්‍යුහයන් මුලින් ම නිරීක්ෂණය කරනු ලැබුණේ දකුණු අප්‍රිකාවේ නොදර්න් කේප් තුඩුවේ පිහිටා ඇති MeerKAT රේඩියෝ දුරේක්ෂය මඟින් කරනු ලබන ආවේක්ෂණ ක්‍රියාවලියක් අතරතුර දී යි. එය ලොව ඇති සංවේදී බවින් වැඩි ම රේඩියෝ දුරේක්ෂය ලෙසයි සැලකෙන්නේ. රේඩියෝ දත්ත විශ්ලේෂණයේ නිරත වූ තාරකාවිද්‍යාඥ Farhad Yusef-Zadeh පවසන්නේ තමා එහි ප්‍රතිඵල දැක විස්මයට පත් වූ බවයි.
මේවා Sagittarius A කළු කුහරය කේන්ද්‍ර කරගෙන පිහිටා තිබීමෙන් එය අදට වසර හය මිලියනයකට එපිට දී හටගත් කළු කුහර විදාරණයකින් නික්මුණු අවශේෂ බවට උපකල්පනය කළ හැකි බවයි Farhad සඳහන් කරන්නේ.
The Guardian සහ Live Science ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්