Home Science News චීනය මීටර 11,100ක් ගැඹුරු ළිඳක් හාරයි

චීනය මීටර 11,100ක් ගැඹුරු ළිඳක් හාරයි

by Sathya

චීනය තම රටේ ගැඹුරුතම සිදුර හෑරීමේ මෙහෙයුම පසුගිය දා ආරම්භ කළා. එහි මුඛ්‍ය අරමුණ වන්නේ පෘථිවියේ අභ්‍යන්තරය අධ්‍යයනය කිරීමයි.

මහජන චීනය නිල පුවත් සපයන්නා වන ශින්හුවා පුවත් ඒජන්සිය වාර්තා කර ඇති පරිදි මෙම ළඳ හෑරීම සඳහා තෝරාගෙන තිබෙන්නේ චීනයේ ශියැන්ජියෑංග් පළාතේ Tarim ද්‍රෝණිය පදනම් කරගෙන පිහිටන කාන්තාර භූමියකයි. දැනට සැලසුම් කර ඇති පරිදි මේ ළිඳෙහි ගැඹුර මීටර් 11,100ක් වනු ඇති අතර එය මහාද්වීපික ස්ථර 10ක් පමණම සිදුරු කරමින් වසර මිලියන 145ක් පැරැණි පෘථිවි කබොලේ ක්‍රිටේෂීය යුගයට අයත් ස්ථරීකෘත පාෂාණමය කොටස් අයත් සීමාව වෙත ළඟා වනු ඇති බවයි ශින්හුයා සඳහන් කරන්නේ. ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීම සඳහා දින 457ක් වැය වනු ඇතැයි දැනට ඇස්තමේන්තුගත කර තිබෙනවා. චීන රාජ්‍ය මාධ්‍ය මෙය හඳුන්වා දෙන්නේ ‘චීනයේ, පෘථිවි ගැඹර ගවේෂණයේ සංධිස්ථානයක්’ ලෙසයි. මෙහෙයුමේ තාක්ෂණික විශේෂඥයෙකු වන වෑංග් චන්ශෙංග්ට අනුව එය පෘථිවියේ නො දන්නා මායිමක් ගවේෂණය කර මානව දැනුම් පද්ධතියේ සීමා මායිම් පුළුල් කිරීමට ගන්නා එඩිතර පියවරක්.

මේ අතිශය ගැඹුරු ළිඳ මඟින් පෘථිවියේ අභ්‍යන්තර සැකැස්ම හා එහි පරිමාණය පිළිබඳ අධ්‍යයනය සඳහා ඇති අවස්ථා පුළුල් කරනු ඇතැයි චීන විද්‍යඥයින් බලාපොරොත්තු වනවා. ළිඳ හෑරීමේ ව්‍යාපෘතිය මෙහෙයවෙන්නේ චීනයේ ජාතික ඛණිජ තෙල් සංස්ථාව (China National Petroleum Corporation) මඟින්.

ව්‍යාපෘතිය සඳහා යොදා ගැනෙන විදුම් උපකරණ සහිත ඉදිකිරීම ටොන් 2000කට වඩා බරින් යුක්තයි. විදුම් උපකරණ සෙල්සියස් අංශක 200ක උෂ්ණත්වයකට ඔරොත්තු දිය හැකි වන පරිදි මෙන් ම වායුගෝලීය පීඩනය මෙන් 1300 ගුණයකට මුහුණ දිය හැකි පරිදි නිමවා තිබෙනවා. එය අභියෝගාත්මක කටයුත්තක් වූ බවයි චීන ඉංජිනේරු ඇකඩමියේ විද්‍යාඥයෙකු වශයෙන් කටයුතු කරන සන් ජින්ශෙංග් සඳහන් කර තිබුණේ.

2021 දී චීන ජනාධිපති ෂී ජිංපින් සිය රාජ්‍යෙයහි පෙරමුණේ පසු වන විද්‍යාඥයන්ගෙන් ඉල්ලා සිටියේ පෘථිවි අභ්‍යන්තර ගවේෂණය ඇතුළු වෙනත් නූතන අභියෝග ජයගැනීම වෙනුවෙන් කටයුතු කරන ලෙසයි. මේ ව්‍යාපෘතිය එහි එක් පියවරක් වශයෙන් හඳුනාගත හැකියි. එසේ ම ඛණිජ තෙල් අවශ්‍යතාවය පිරිමසා ගැනීම සඳහාත් මෙයින් නො මඳ සහායක් හිමි වනු ඇතැයි බලාපොරොත්තු වනවා.

කෙසේ නමුත් මෙය ලොව ගැඹුරුතම සිදුර වන්නේ නැහැ. මීටර 12,262ක ගැඹුරකට උරුමකම් කියන ලොව ගැඹුරුතම ළිඳ පිහිටා තිබෙන්නේ රුසියාවේයි. එය Kola Superdeep Borehole යනුවෙන් හැඳින්වෙනවා.

The Guardian ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications