Home Science News දිය යට වැඩිම කාලයක් ගත කර ලෝක වාර්තාවක් තැබූ විද්‍යාඥයා

දිය යට වැඩිම කාලයක් ගත කර ලෝක වාර්තාවක් තැබූ විද්‍යාඥයා

by Sathya

දින 100 ක වැඩි ම කාලයක් දිය යට ජීවත් වෙමින් ලෝක වාර්තාවක් තැබීමට පසුගිය දා විද්‍යාඥයෙක් සමත් වුණා. Dr. Deep Sea නම් අන්වර්ථ නාමයෙන් හඳුන්වන ඔහු ජෝසප් ඩිටුරි.

International Board of Undersea Medicine සමග කටයුතු කරන ඔහු 55 වැනි වියේ පසුවන ජෛව වෛද්‍ය විද්‍යා ඉංජිනේරුවරයෙකු වෙනවා.

මේ 2023 වසරේ මාර්තු මස 1 වැනි දිනයේ සිට පසුගිය ජුනි 9 වැනි දිනය දක්වා දින 100 ක වැඩි ම කාලයක් අඛණ්ඩව දිය යට ජීවත් වූ මිනිසා ලෙස ඔහු ඉතිහාසයට එක් වෙනවා.

ඔහු මේ කාලය ගත කර තිබෙන්නේ එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා වෙරළට ඔබ්බෙන් මුහුද යට අඩි 30 ක් (මීටර් 9 ක්) ගැඹුරින් පිහිටා තිබෙන Jules’ Undersea Lodge නම් නවාතැන තුළයි.

මුහුද යට  අඩි 100 ක (වර්ග මීටර් 9 ක) විශාලත්වයක් ඇති මේ නවාතැන වායුගෝලීය පීඩන 1.7 ක පීඩනයකට යටත් ව පවතිනවා.

Project Neptune නම් ව්‍යාපෘතිය යටතේ ඔහු ගත කළ කාලය තුළ දී අධි පීඩන පරිසරයක කල් ගත කිරීමේ දී ඇතිවන බලපෑම් අධ්‍යයනය කරනු ලැබුවා.

ඉහත මුහුද යට නවාතැන තුළම 2014 වසරේ දී දින 73 ක කාලයක් ජීවත් ව සිට බෲස් කැන්ට්‍රෙල් සහ ජෙසිකා ෆේන් යුවළ විසින් තැබූ ගීනස් ලෝක වාර්තාව ජෝසප් ඩිටුරි විසින් බිඳ හෙළා තිබෙනවා.

පසුගිය මැයි මස 10 වෙනි දිනට යෙදුණු තම මෙහෙයුමේ 80 වැනි දිනයේ දී ඔහු Live Science වෙබ් අඩවිය සමග සංවාදයක යෙදෙමින් දිය යට සීමිත අවකාශයක් තුළ ජීවත් වීමේ දී තම සිරුරේ සහ මොළයේ ක්‍රියාකාරිත්වය වෙනස් වී ඇති අන්දම විස්තර කළා.

ඔහු මේ වාර්තාගත කාලය තුළ දී වෛද්‍ය පරීක්ෂණ රැසක් සිදු කළ අතර දකුණු ෆ්ලොරිඩා සරසවියේ ඔහුගේ සිසුන්ට ඉගැන් වීමේ කටයුතු මෙන් ම මාධ්‍ය සාකච්ඡා කිහිපයක් ම පවත්වනු ලැබුවා. පාසල් ළමුන් සමග ද කතා කළ ඔහු Instagram මඟින් වීඩියෝ දර්ශන බෙදා හැරීමට සමත් වුණා.

“වැඩ නවත්වන ලද කිසිම කාලයක් මට තිබුණේ ම නැති තරම්. එහෙත් කුඩා අවකාශයක් තුළ සිර වී අවිවේකී ව ගත කිරීම ඇත්තෙන් ම හොඳ දෙයක්.” ඩිටුරි එසේ පවසනවා.

“මම වඩාත් ම පුදුමයට පත් වූයේ මේ කාලය තුළ ම මට ඉර දැකගන්න ලැබුණෙ නැති එක ගැනයි.” 

ඔහු තවදුරටත් සඳහන් කරනවා.

වෛද්‍යවරුන් සහ විද්‍යාඥයින්ගෙන් සැදුම් ලත් කණ්ඩායමක් ඩිටුරිගේ මෙහෙයුම් කාලය තුළ දී ඔහුගේ රුධිරය, මූත්‍රා සහ ඛේටය සාම්පල ගනිමින් නො කඩවා ඒවා විශ්ලේෂණය කර තිබෙනවා.

තව ද හෘදයේ විද්‍යුත් ක්‍රියාකාරිත්වය වාර්තා කෙරෙන ECG වාර්තා මෙන් ම මොළයේ විද්‍යුත් ක්‍රියාකාරිත්වය සටහන් කෙරෙන EEG වාර්තා ද ලබා ගැනීමට හැකි වුණා.

එමෙන් ම පෙනහලු ක්‍රියාකාරිත්වය මෙන් ම රුධිර පීඩන වාර්තා සහ හිස් කබලට බලපාන පීඩනය දැනගත හැකි කණීනිකාමාන දත්ත ද ලබාගෙන තිබෙනවා.

පළමු දින 80 කාලය තුළ දී වයස්ගත වීමේ දී සිදුවන ඔක්සිකාරක බිඳවැටීම් නිසා සෛලවලට සිදු වන හානිය තුනෙන් දෙකක ප්‍රමාණයකින් අඩු වී තිබූ අතර ඔහුගේ පියවි සෛල (Stem cells) වැඩි වීමක් සහ ටෙලෝමියරවල දිග වැඩි වීමක් වාර්තා වුණා. වර්ණ දේහවල කෙළවරේ පිහිටන ආරක්ෂක ව්‍යුහයන් වන ටෙලෝමියර කෙනෙකුගේ ජීවිත කාලය තුළ දී ස්වාභාවික ව කෙටි වනවා.

ඔහුගේ කොලෙස්ටෙරෝල් මට්ටම් ද මේ වාර්තාගත කාලය තුළ දී පහත බැස තිබුණා.

ඔහුගේ මෙහෙයුමේ 93:වෙනි දිනයේ දී Daily Mail පුවත්පත සමග පැවති සාකච්ඡාවක දී ඩිටුරි පැවසුවේ තමා වසර දහයකින් තරුණ වී ඇතැයි හැඟෙන බවයි.

Live Science ඇසුරෙනි.

ප්‍රේමශාන්ත කුමාරසිරි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications