Home Science News ගෝලීය උණුසුම නිසා සුමට ගුවන් ගමන් දෙදරා යන ලකුණු

ගෝලීය උණුසුම නිසා සුමට ගුවන් ගමන් දෙදරා යන ලකුණු

by Sathya

ඉහළ යන ගෝලීය උෂ්ණත්වයත් සමගින් ගුවන් ගමන්වල දී මුහුණ දීමට සිදු වන වායුගෝලීය ආකූලතාවන් (turbulence) ද වැඩි වෙමින් තිබෙන බව එක්සත් රාජධානියේ රීඩිං සරසවියේ පර්යේෂකයන් කළ නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

සාමාන්‍යෙයන් කාර්ය බහුල ගුවන් මාර්ගයක් වන උතුරු අත්ලාන්තික් ගුවන් මාර්ගයේ ගමන් ගන්නා ගුවන් යානා මුහුණ දෙන දැඩි ආකූලතාවන් ගණන 1979 සිට 2020 වසර දක්වා කාලය තුළ ප්‍රතිශතාත්මක ව 55% කින් ඉහළ ගොස් ඇති බව ඔවුන් සොයාගෙන තිබෙනවා. ඔවුන් ඊට හේතුව ලෙස සලකන්නේ කාබන් විමෝචනය හේතුවෙන් රත් වන වා තලය හේතුවෙන් ඉහළ උන්නතාංශයන්ගේ සිදු වන වේගවත් සුළං ධාරාවන්.

‘දශකයක් මුළුල්ලේ කළ පර්යේෂණයන් මඟින් දේශගුණික විපර්යාස හේතුවෙන් අනාගතයේ දී වායුගෝලීය ආකූලත්වය ඉහළ වන බව සොයා දිස් වුණා. අපට දැන් සාධක තිබෙනවා දැනටමත් එය ඇරඹී ඇති බවට’ අධ්‍යයනයේ සම කර්තෘවරයකු වන රීඩිං විශ්වවිද්‍යාලයේ වායුගෝලීය විද්‍යාඥ මහාචාර්ය පෝල් විලියම්ස් පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ආකූලතාවන් පුරෝකථනය කළ හැකි ආකාරයේ වැඩිදියුණු තිරීම් සිදු කිරීමට දැන් කාලය උදා වී ඇති බවයි. එසේ නො වුණහොත් ඉදිරි දශකවල දී ගුවන් ගමන්වල සුමට සුවපහසු බව ඒවායින් නිතර කෙළෙසී යනු ඇතැයි ඔහු සඳහන් කරනවා.

ඇමරිකා එක්සත් ජනපදය, උතුරු අත්ලාන්තික් මාර්ගය, යුරෝපය, මැද පෙරදිග සහ දකුණු අත්ලාන්තික් ගුවන් මාර්ගවල ඇති වන මෙවන් අවස්ථා වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

මෙවැනි ආකූලතාවන් හටගන්නේ වායුගෝලයේ විවිධ වේගයන්ගෙන් සැරිසරන වායු ස්කන්ධයන් දෙකක් හමුවන අවස්ථාවල දී යි. ඒ අසලින් පියාසර කරන ගුවන් යානා මෙමඟින් ගැස්සීමට ලක් වනවා. ආසන පටි පැළඳ සිටීමෙන් මෙයින් ඇති විය හැකි අනතුරු වළක්වාගත හැකියි. නමුත් ආසන පටි පැලඳ නො ගෙන සිටින අවස්ථාවල දී සිදු වන ප්‍රබල ආකූලතාවන් මඟින් මගීන් තුවාලකරුවන් වීමේ අවදානමක් තිබෙනවා.

‘වායුගෝලීය ආකූලතාවන්ට බයේ කවුරුත් ගුවනින් යන්න බය වෙන්න ඕන නෑ. නමුත් ඇවිදින මොහොතක දී හැර අනිත් හැම මොහොතක ම වගේ ආසන පටි තද කරගෙන ඉන්න එක නුවණට හුරුයි. ගුවන් නියමුවන් පවා ඉන්නේ එහෙමයි. දරුණුතම ආකූලතා තත්ත්වයක දී වුණත් ඔබේ සුරක්ෂිත භාවය ගැන තියෙන සහතිකය ඒකයි.’ විලියම්ස් සඳහන් කරනවා.

මේ අධ්‍යයනයට අදාල පත්‍රිකාව Geophysical Research Letters ජර්නලයේ පළ වී තිබෙනවා.

BBC ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications