Home Science News කිලෝග්‍රෑම් 800ක් බර ගොබ්ලින් මෝරෙක් ධීවර දැලක පැටලෙයි

කිලෝග්‍රෑම් 800ක් බර ගොබ්ලින් මෝරෙක් ධීවර දැලක පැටලෙයි

by Sathya

තායිවානයේ ඊසානදිග වෙරළ තීරය‍ට ඔබ්බෙන් මුහුදු කලාපයේ මසුන් මැරීමේ යෙදී සිටි ධීවර යාත්‍රාවකට කිලෝග්‍රෑම් 800 (රාත්තල් 1760) ක බරින් යුතු ගොබ්ලින් මොරකු හසු වී තිබෙනවා. ඒ එම සාගර කලාපයේ දී හසු වූ විශාලතම ගොබ්ලින් මෝරා වීම විශේෂත්වයක්. තායිවාන සාගර කලා කෞතුකාගාරය පවසන පරිදි ධීවරයන් මුලින් තීරණය කර ඇත්තේ මොරා ආපන ශාලාවක් වෙත අළෙවි කර දැමීමටයි. නමුත් අවසානයේ දී මෝරා සිය භාරයට ගැනීමට කෞතුකාගාරය සමත් ව තිබෙනවා. 

‘ඒ වන විටත් අවන්හල විසින් මෝරාව මිල දීගෙන වගෙයි තිබුණේ. නමුත් කළ සටනකින් අනතුරුව එය අනාගත අධ්‍යාපනික සම්පතක් වශයෙන් භාරගන්නට තායිවාන සාගර කලා කෞතුකාගාරය සමත් වුණා.’ කෞතුකාගාරය සිය Facebook ‍පිටුවේ සටහනක් තබමින් සඳහන් කරනවා. නුදුරේ දී ඔවුන් මේ දුර්ලභ මෙන් ම ප්‍රාග් ඓතිහාසික මත්ස්‍යයා ප්‍රදර්ශනාත්මක ලෙස තැන්පත් කර තබන්නට නියමිතයි.

මේ ගොබ්ලින් මොරා ගැහැනු සතෙකු වන අතර මිය යන විට පැටවුන් හය දෙනෙකු කුස දරාගෙන සිට ඇති බව පෙනී යනවා. ගොබ්ලින් මෝරුන් සිය ජනිතයන් බිහි කරන්නේ අභ්‍යන්තර සංසේචනයකින්. එනම් ගැහැනු සතුන් පිටතට මුදා නො හැර බිජු සිරුර තුළ තබාගෙන ම රකින අතර පැටවුන් බිහි වූ පසු පිටතට මුදා හැරීම සිදු කරනවා. 

Mitsukurina owstoni ලෙස විද්‍යාත්මක නාමකරණය වී ඇති ගොබ්ලින් මෝරුන් ලොව වෙසෙන මෝරුන් අතරින් අද්භූත පෙනුමැති විශේෂයක් ලෙස සැලකෙනවා. ‘පිසාචයා’ යන්න අරුත් ගැන්වෙන goblin යන නමින් උන් හැඳින්වෙන්නේ ඒ් හේතුවෙන්. සාමාන්‍යයෙන් අඩි 3,940ක් තරම් වූ ගැඹුරින් සාගර පත්ලට ආසන්නයේ ජීවත් වීමට ප්‍රිය කරන ඔවුන් සිය ආහාර ලෙස අනෙකුත් මසුන්, දැල්ලන් මෙන් ම ක්‍රස්ටේෂියාවුන් ද ලබා ගැනීමට කැමැත්තක් දක්වනවා. වසර මිලියන 125කට එහා ඉතිහාසයක් ඇති Mitsukurinidae කුලය‍ට අයත් දැනට ජීවතුන් අතර සිටින එක ම මෝර විශේෂය වන්නේ ඔවුන්. සාමාන්‍යයෙන් අළු පැහැ සිරුරකට හිමිකම් කීවත් ධීවර ආම්පන්නවලට හසු වී ඉහළට ඇදී එන විට රුධිර වාහිනී හානි වීම නිසා රෝස පැහැය‍ට හුරු දම් පැහැයකට හැරෙනවා.

ධීවරයන් හට අහඹුවෙන් මෙන් මොවුන් හසු වන්නේ bottom trawling ලෙස හැඳින්වෙන සාගර පත්ල පීරාගෙන යන පරිදි මුදා හැරෙන දැලක් මඟින් සිදු කෙරෙන ධීවර උපක්‍රමය අනුගමනය කරන විටයි. සාගර ක්‍රියාකාරීන් මෙම ක්‍රියා කලාපය මුළුමනින් ම හෙලා දකින්නේ ඉන් ධීවර කටයුතු සඳහා ඉලක්කගත නො වන මසුන් ද මියයාම නිසයි. එමඟින් සාගර පත්ලට හානි වන අතර පත්ල ආශ්‍රිතව ජීවත් වන සංවේදී සත්ත්ව විශේෂයන්ගේ වාසස්ථාන ද විනාශ වනවා. එසේ ම අවසාදනය වී ඇති රොන් බොර ඇවිස්සීම නිසා සාගර ජලයේ සංයුතිය සහ ආලෝක තත්ත්වයන් වෙනස් වීමට ලක් වී සාගර පැලෑටිවල ප්‍රභාසංස්ලේෂණය අඩාල කර දමනවා. 

Live Science ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications