Home Science News අතුරුදන් වූ ටයිටැනික් ගවේෂණ සබ්මැරීනය සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි

අතුරුදන් වූ ටයිටැනික් ගවේෂණ සබ්මැරීනය සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි

by Sathya

OceanGate සාගර සංචාරක සමාගමට අයත් ටයිටන් නම් වූ සබ්මැරීනය අතුරුදන් වූයේ පෙරේදා (19) දිනයි. ඒ එය මුහුදුබත් වූ ටයිටැනික් නෞකාවේ සුන්බුන් නිරීක්ෂණය සඳහා යන චාරිකාවක් අතර තුරයි. මෙහෙයුමේ මවු නෞකාව වශයෙන් කටයුතු කරන Polar Prince පර්යේෂණ නෞකාව සබ්මැරීනය ගමන් අරඹා පැය 1 විනාඩි 45 ගත වන තැන එයත් සමඟ පැවති සන්නිවේදනය ඇණහිට තිබෙනවා. ටයිටන් සබ්මැරීනයේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව පහක්.

ඊයේ (20) සවස් යාමය වන විට ගලවාගැනීමේ මෙහෙයුමේ ප්‍රධානත්වය උසුලන එක්සත් ජනපද වෙරළාරක්ෂක කපිතාන් ජේමි ෆ්‍රෙඩ්රික් සඳහන් කළේ ඇමරිකානු, කැනේඩියානු මෙන් ම පෞද්ගලික නෞකා ද උපයෝගී කරගෙන අත්ලාන්තික් සයුරේ අදාළ ප්‍රදේශය ආවරණය වන පරිදි වර්ග සැතපුම් 7,600ක වපසරියක් සෝදිසි කළ ද හෝඩුවාවක් සොයාගත නො හැකි වූ බවයි.

සබ්මැරීනයේ ගමන් ගත් සංචාරකයන් අතර 58 හැවිරිදි බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයෙකු වන Hamish Harding සිටින බව ඊයේ දිනයේ දී ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණා. පාකිස්ථානයේ ධනවත් ම පවුලකින් පැවත එන බ්‍රිතාන්‍ය ජාතික ව්‍යාපාරික Shahzada Dawood (48) සහ ඔහුගේ පුත් Suleman Dawood (19) එහි සිටින බවට කරුණු වාර්තා වුණේ ඉන් අනතුරුවයි. එසේ ම මිස්ටර් ටයිටැනික් යන අන්වර්ථ නාමයක් ද පටබැඳී ඇති, ටයිටැනික් නටඹුන් අතර වැඩි ම කාලයක් ගත කර ඇති ගවේෂකයා වන Paul-Henry Nargeolet (77) සහ OceanGate සමාගමේ විධායක අධ්‍යක්ෂ Stockton Rush ද එහි සිටිනවා.

වික්‍රමාන්විත ගවේෂණ චාරිකාවන්ගේ නිරත වන්නට ප්‍රිය කරන උදවිය ගැඹුරු සාගර සංචාර ගෙන යාම OceanGates සමාගමේ අරමුණ වූ අතර ටයිටැනික් වෙත මින් පෙර ද සාර්ථක ලෙස සංචාරකයන් ගෙන යන්නට ටයිටන් සබ්මැරීනය සමත් වුණා. මේ සඳහා එක් සංචාරකයෙකුගෙන් ඩොලර් 250,000 ක පමණ මුදලක් අය කෙරෙනවා. එය කිසි ලෙසකින් වත් සාමාන්‍ය විනෝද චාරිකාවක් නො වන අතර ඔවුන් එය හැඳින්වූයේ වික්‍රමාන්විත ගවේෂණයක් ලෙසයි. එම ගවේෂණ මෙහෙයුම සමග අවදානමක් තිබෙන බව සමාගම විසින් ම සංචාරකයන් වෙත පූර්ව අවබෝධයක් ලබා දෙනු ලබන බව මින් පෙර එවැනි සංචාරයක් සඳහා සහභාගී වූ මාධ්‍යවේදියෙකු සඳහන් කර තිබුණා.

මේ වන විට ගලවාගැනීමේ මෙහෙයුමට එරෙහි ව ඇති ප්‍රබල ම තීරණාත්මක සාධකය වන්නේ කාලයයි. ආරම්භයේ දී පැය 96කට සෑහෙන වාතය එහි අඩංගු කර තිබුණා. නමුත් ඊයේ මධ්‍යම රාත්‍රිය වන විට ගලවාගැනීමේ කණ්ඩායම් නිවේදනය කළේ එහි අඩංගු වාතය ගත වූ කාලයත් සමග තව දුරටත් ඉතිරි ව ඇත්තේ පැය 40ක කාලයක් සඳහා පමණක් බවයි.

සන්නිවේදනය ඇණහිටින විට එය පැවත ඇත්තේ මුහුදු මට්ටමේ සිට අඩි 12,500ක් පහළින් සහ කනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් වෙරළ තීරයට දල වශයෙක් කිලෝ මීටර 600ක් ඈතින්.

ටයිටන් සබ්මැරීනය දිගින් මීටර 6.7ක් පමණ වනවා. එතුළ පවතින්නේ බොහෝ සීමිත ඉඩකඩක්. OceanGate වෙබ් අඩවිය විසින් සපයා ඇති හරස්කඩ රූප සටහන්වලට අනුව උපරිම පස්දෙනෙකුට ගමන් කළ හැකි එහි දෙපා දිගහැරගෙන සිටිය හැකි වන්නේ එක් වරකට එක් අයෙකුට පමණයි. සබ්මැරීනය යම් හෙයකින් මුහුද මතුපිටට පැමිණියත් එහි පියන් ඇතුළතින් විවෘත කළ හැකි වන්නේ නැහැ. එය විවර කළ හැකි වන්නේ පිටතින් පමණයි.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්ගේ අණ පරිදි පර්යේෂණ නෞකාවක් වන Atalante සෝදිසි මෙහෙයුම් සඳහා පිටත් කර හරින්නට ප්‍රංශ රජය තීරණය කර තිබෙනවා. මේ වන විට පොසීඩියන් ගුවන් යානා මඟින් ද සාගර කලාපය තුළ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි.

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්, සිදු වීම ‘අවධානයෙන් නිරීක්ෂණයට ලක් කරන බව’ ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශක විසින් නිවේදනය කෙරුණා.

බොහෝ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා ඇසුරෙනි.

(ඉදිරියේ දී මෙම පුවත යාවත්කාලීන කෙරෙනු ඇත.)

සත්‍ය හෙට්ටිආරච්චි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications