ග්‍රහ පද්ධතියක් තැනෙන්නේ පිළිවෙළත්, ව්‍යාකූලත්වයත් වෙන් වන සීමාවේ දීයි. බොහෝ විට හයිඩුජන් වායුව ගැබ් වූ අණුක වලාවක් ඊට කමටහන් සපයනවා. මධ්‍යයට වන්නට මව් තාරකාව (හෝ තාරකා) බිහි වන විට අණුක වලාවේ ඉතිරිය ඒ වටා විභ්‍රමණය වන තැටියක් බවට කෙමෙන් හීන වී ගොස් අවසානයේ දී එහි අන්තර්ගත වායුව, අයිස් සහ දුහුවිල්ල එහි දී වියරු ලෙස සුළි දෙන්නට ගන්නනවා. ග්‍රහලෝක නිර්මාණය වන්නේ එලෙසයි.
ග්‍රහ විද්‍යාඥයන් කලක පටන් ම උපකල්පනය කළේ අනෙකුත් ග්‍රහ පද්ධතීන් ද අපේ සෞරග්‍රහ මණ්ඩලය මෙන්“පටිපාටිගත” (‘ordered’) ලෙස සකස් වී ඇති බවයි. එනම් හිරුට ආසන්නතම ග්‍රහලෝකයේ සිට බලන විට ඈතට යන විට ක්‍රමයෙන් විශාලත්වය වැඩි වන පරිදි (ආරෝහණ ක්‍රමයට) ග්‍රහලෝක පිහිටා ඇති බවයි. නමුත් බාහිර් ග්‍රහ පද්ධතීන් ගැන අවධානයෙන් පසු වන කෙප්ලර් මෙහෙයුම මඟින් පෙන්වා දෙන පරිදි තවදුරටත් අපේ සෞරග්‍රහ මණ්ඩලයේ අච්චුවෙන් යුතු ග්‍රහපද්ධතීන් බලාපොරොක්කු විය හැක්කේ අඩු වශයෙනුයි.
IBM හි තාරකා භෞතික විද්‍යාඥයෙකු වන ලෝකේෂ් මිශ්‍රා (Lokesh Mishra) සහ බර්න් විශ්වවිද්‍යාලයේ යෑන් ඇලිබර්ට් (Yann Alibert) මෙකී සොයාලැනීමෙන් පන්නරය ලබා පැවතිය හැකි වෙනත් සෞරග්‍රහ මණ්ඩල ආකෘතීන් පිළිබඳ අධ්‍යයනයට මුල පිරුවේ ඒ අනුවයි. දුරදක්නවලින් සිදු කිරීම අපහසු වුවත් පරිගණක මොඩල මඟින් අධ්‍යයනයේ නිරත වීම සාපේක්ෂ ව පහසු කටයුත්තක්. එහි දී නව ආකෘතීන් ද්විත්වයක් ද පෙන්වා දී තිබුණා. එනම් Antiordered හෙවත් අවරෝහණ පිළිවෙළට (හිරූගේ සිට ඈතට යන විට ග්‍රහයන්ගේ විශාලත්වය කුඩා වන පරිදි) පිළිවෙළට ග්‍රහලෝක පිහිටන සෞරග්‍රහ මණ්ඩල සහ එවැනි පිළිවෙළක් නොමැති ව සම්මිශ්‍ර ව පිහිටන (Mixed) සෞරග්‍රහ මණ්ඩලයි. එසේ ම සමාන විශාලත්වයෙන් යුතු ග්‍රහලෝක පිහිටා ඇති ග්‍රහ පද්ධතීන් ද පවතින බව පෙනී යනවා.
වැඩිපුර ම හමු වී ඇති සෞරග්‍රහ මණ්ඩල සමාන විශාලත්වයෙන් යුතු ග්‍රහලෝක අඩංගු වන (Similer) ගණයට අයත් බව ඔවුන්ට මොඩලය තුළින් පෙනී ගොස් තිබෙනවා. අඩුවෙන් ම නිරීක්ෂණය වී ඇත්තේ අපගේ මෙන් Ordered ආකෘතීන්ට අනුගත සෞරග්‍ර මණ්ඩල බව පෙනී ගොස් තිබීම විශේෂත්වයක්. මේ පිළිබඳ අධ්‍යයනය Astronomy & Astrophysics ජර්නලයේ පළ වී තිබුණා.
අධ්‍යයනයට සම්බන්ධ නො වූ චිකාගෝ සරසවියේ තාරකා භෞතික විද්‍යාඥ ඩැනියෙල් ෆැබ්‍රිකී (Daniel Fabrycky) පෙන්වා දෙන්නේ අනාගතයේ සිදු කෙරෙන නිරීක්ෂණයන් මඟින් මෙවැනි අධ්‍යයනයන්ට වටිනාකමක් එක් කෙරෙනු ඇති බවයි.
Scientific American ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්