Home Science News ෆුකුෂිමා බලාගාරයේ අපජලය පැසිෆික් සාගරයට

ෆුකුෂිමා බලාගාරයේ අපජලය පැසිෆික් සාගරයට

by Sathya

ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ තැන්පත් ව තිබූ විකිරණශීලී අපජලය පිරිපහදු කිරීමකින් අනතුරුව පැසිෆික් සාගරය වෙත මුදා හැරීමට කටයුතු සම්පාදනය වෙමින් පවතිනවා. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ මේ වන විටත් ජපානයේ තත්ත්ව නියාමකයින් මුදා හැරීමට පෙර සිදු කරන සිය අවසන් නියාමනය අරඹා ඇති බවයි.

ඒ න්‍යෂ්ටික බලාගාරයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ අධිකාරිත්වය දරන Tokyo Electric Power Company Holdings (TEPCO) සමාගම විසින් මෙම මෙහෙයුමට අදාළ අවසාන අංගය වන මුහුද යටින් දිවෙන කිලෝමීටරයක දිගින් යුත් උමඟ ඉදි වී අවසන් වීමත් සමගයි.

TEPCO සමාගම පවසා ඇති පරිදි නියාමකයින් විසින් පිරිපහදු කළ ජලය රැගෙන යන ක්‍රමවේදයට අදාළ උපකරණ සහ ආරක්ෂණ පද්ධති පිළිබඳ පරීක්ෂාවක නියැලෙනු ඇති. උමඟ ඔස්සේ ජලය පිට කිරීම සඳහා අවසරය හිමි වනු ඇත්තේ නියාමනයෙන් තවත් සතියක පමණ කාලයකට පසු ව බවයි ඔවුන් සඳහන් කරන්නේ.

2011 වසරේ මාර්තු 11 දා හටගත් ජපානය මුහුණ දුන් දරුණුතම භූ කම්පනය සහ සුනාමි උවදුරත් හේතුවෙන් ෆුකුෂිමා ඩායිචි (Fukushima Daiichi) න්‍යෂ්ටික විදුලි බලාගාරයේ වූ සිසිලන පද්ධතිය අකර්මණ්‍ය වූ අතර එහි වූ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක හතරෙන් තුනක් ම අනතුරට පත් වුණා. සිසිලන පද්ධතියේ වූ විකිරණශිලී අපජලය දිගින් දිගට ම කාන්දු වුණා. එදා මෙදා තුර ලෝක ඉතිහාසයේ සිදු වූ විශාලතම න්‍යෂ්ටික අනතුර ලෙස සැලකෙන්නේ එයයි. කාන්දු වන ජලය යම් පිරිපහදුවකට යටත් ව ටැංකිවල ගබඩා කිරීම සිදු කෙරෙමින් පවතින නමුත් 2024 වන විට ඒවායේ පරිමාව සම්පූර්ණ වීමට නියමිතයි. ආරක්ෂිත ලෙස කෙරෙන මුදා හැරීමක අවශ්‍යතාවය පැන නැඟුණේ මේ නිසයි.

මේ සැලසුම සඳහා මුල පටන් ම එරට ධීවර ජනතාවගෙන් විරෝධය එල්ල වුණා. 2015 දී ජපාන රජය සහ TEPCO සමාගම සපථ කර සිටියේ ධීවර ප්‍රජාවගේ අවසරයකින් තොර ව මුදාහැරීම සිදු නො කරන බවයි. කෙසේ නමුත් මේ වන විට ධීවර ප්‍රජාව චෝදනා නඟන්නේ පොරොන්දුව නො සලකා හැර සැලසුම ඉදිරියට ගෙනැවිත් ඇති බවයි. අසල්වාසී රාජ්‍යයන් වන දකුණු කොරියාව, චීනය සහ පැසිෆික් සාගරයේ ඇති ඇතැම් දූපත් රාජ්‍යයන් ද මේ ව්‍යාපෘතිය නිසා ඇති විය හැකි හානිකර තත්ත්වයන් පිළිබඳ සිය අවධානය යොමු කර ඇති බව සඳහන්.

ජපාන රජයට සහ බලාගාරයේ බලධාරීන්ට අනුව මේ වන විට අපජලය ටැංකි 1000ක පමණ ගබඩා කෙරී තිබෙනවා. ඔවුන් පවසන්නේ ඒවායෙන් තවත් අනතුරුදායක කාන්දු වීම් ඇති වීමේ සම්භාවිතාවක් ඇති හෙයින් ඉවත් කිරීම කළ යුතු බවයි. එහි අඩංගු අපජලය පිරිපහදු කිරීමකට ලක් කර ඇතත් තවමත් මඳ විකිරණශීලීතාවකින් යුක්තයි. ජපාන බලධාරීන් පවසන්නේ මුහුදු ජලයට එක් වූ පසු එය තවදුරටත් තනුක වී යනු ඇති බවයි. ඉන් මිනිසාට හෝ සාගර ජීවීන්ට කිසිඳු ආකාරයේ හානියක් අත් නො වන බවට ඔවුන් සහතික වනවා.

Associated Press ඇසුරෙනි.

සත්‍ය හෙට්ටිආරච්චි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications