පර්යේෂකයන් විසින් ඉන්දියන් සාගරය තුළ සුවිසල් ගුරුත්ව කුහරයක් (gravity hole) හඳුනාගනු ලැබ තිබෙනවා. එහෙත් එය සාගරයේ ජලය එයට ඇදීයන අන්දමේ කුහරයක් නොවෙයි. භූ විද්‍යාඥයින් මේ පදය භාවිතා කරන්නේ පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලය සාමාන්‍ය අගයට වඩා අඩුවෙන් පවතින ප්‍රදේශයක් හැඳින්වීම පිණිසයි.
Geophysical Research Letters ජර්නලයේ පළ කර තිබෙන නවතම අධ්‍යයනයක් මඟින් මේ ගුරුත්ව කුහරයේ සම්භවයට හේතුව පැහැදිලි කෙරෙනවා. ඒ අනුව මෙවැන්නක් ඇති වීමට හේතුව අප්‍රිකාවට ගැඹුරින් පිහිටි පොළොව තුළට ගිලා බසින ලද පුරාතන සාගරයක පතුලේ අවශේෂයන් අතරින් ද්‍රවමය පාෂාණ ඉහළට ඒම බව දැක්වෙනවා.
පෘථිවියේ හැඩය පරිපූර්ණ ලෙස ගෝලාකාර නො වන නිසා ම එය මතුපිට ගුරුත්ව බලය සැම තැනකම සමාන වන්නේ නැහැ. අනෙක් අතට විවිධ තැන්වලට යටින් ඇති කබොල, ප්‍රාවරණය හා හරයේ විෂමාකාරබව හේතුවෙන් ස්කන්ධයේ පවතින අසමානතාවයන් මේ ගුරුත්ව බල වෙනස ඇති වීමට බලපානවා. පොළොව මත තිබෙන සංවේදක උපකරණ හා චන්ද්‍රිකා මිනුම් ආධාරයෙන් මෙවැනි ගුරුත්වාකර්ෂණ වෙනස්කම් හේතුවෙන් සාගරයේ මතුපිටය පෙනෙන අන්දම අනාවරණය කර තිබෙනවා. එමඟින් ගුරුත්ව බලයේ විෂමතාවයන් දැක්වෙන ගෝලීය ජ්‍යාභයක් (Global geoid) ලෙස හඳුන්වන විස්තරාත්මක පින්තූරයක් නිර්මාණය කෙරෙනවා.
ජර්මනියේ පර්යේෂණ ආයතනයක් මඟින් නිර්මාණය කරන ලද වඩාත් ම ප්‍රකට ගෝලීය ජ්‍යාභ ආකෘතියක් ‘පොට්ස්ඩෑම් ගුරුත්ව අර්තාපලය’ ලෙස නම් කර තිබෙනවා. මේ ආකෘතියට අනුව ඉන්දියන් සාගරයට යටින් ඇති ප්‍රදේශය අපේ ග්‍රහලෝකය මත ගුරුත්වාකර්ෂණ විෂමතාව වඩාත් ම කැපී පෙනෙන ගුරුත්වාකර්ෂණ අවපාතනයක් පෙන්වන අතර එය IOGL නමින් හඳුන්වනවා.
වර්ග කිලෝමීටර් මිලියන තුනකට වඩා විශාල වන මේ අවපාතනයේ කේන්ද්‍රය ඉන්දියාවේ දකුණු කෙළවරට කිලෝමීටර් 1,200 ක් නිරිත දෙසින් පිහිටා තිබෙනවා.
මේ ප්‍රදේශයේ ඇති අඩු ගුරුත්ව බලය හා එය වටා ඇති ප්‍රදේශ වල තිබෙන වැඩි ගුරුත්ව බලය හේතුවෙන් මේ ගුරුත්ව කුහරයට ඉහළින් තිබෙන ඉන්දියානු සාගරයේ මුහුදු මට්ටම සාමාන්‍ය ගෝලීය මුහුදු මට්ටමට වඩා මීටර් 106 ක් පහත් වී ඇති බව ඉහත අධ්‍යයන වාර්තාවේ ප්‍රධාන පර්යේෂකයන් වන බැංගලෝරයේ ඉන්දියානු විද්‍යා ආයතනයේ භූ භෞතික විද්‍යාඥයින් වන Attreyee Ghosh සහ Debanjan Pal සඳහන් කරනවා.
1948 වසරේදී ඕලන්ද ජාතික භූ භෞතික විද්‍යාඥයෙකු වූ Felix Andries Vening Meinesz විසින් නෞකාවක සිට සිදු කළ ගුරුත්වාකර්ෂණ සමීක්ෂණයකින් අනාවරණය කළ මේ IOGL අවපාතයට හේතුව විද්‍යාඥයින් දැන සිටියේ නැහැ. Pal සහ Ghosh දෙදෙන පරිගණක ආකෘති ගණනාවක් ආධාරයෙන් මෙයට හේතුව අනාවරණය කරනවා.
ඒ අනුව වසර මිලියන 200 කට වඩා ඉහත දී ලොරේසියාව සහ ගොන්ඩ්වානාව යන සුපිරි මහාද්වීප යුගලය අතර පිහිටා තිබූ ටෙතිස් සාගරය වසර මිලියන 120 කට පෙර සිදු වූ ඉන්දියානු තැටිය ගොන්ඩ්වානාවෙන් වෙන් ව උතුරු දෙසට චලනය වීම නිසා ඉන්දියන් සාගරය නිර්මාණය කරමින් පොළොව තුළට ගිලී ගියා. මෙසේ ගිලී ගිය ටෙතිස් සාගර පතුලේ කැබලි අතරින් ප්‍රාවරණයේ තිබෙන අඩු ඝනත්ව ද්‍රවමය උණුසුම් ද්‍රව්‍ය ඉහළට ඒමෙන් IOGL ගුරුත්ව අවපාතය නැතිනම් ගුරුත්ව කුහරය බිහි වී තිබෙනවා.
Scientific American ඇසුරෙනි.
ප්‍රේමශාන්ත කුමාරසිරි