පෘථිවි ගෝලයේ අභ්‍යන්තරයට යාමේ දී පිළිවෙළින් කබොල, ඉහළ ප්‍රාවරණය, පහළ ප්‍රාවරණය, පිටත හරය සහ ඇතුළු හරය යන ස්තරයන් හමු වන බව ඔබ දන්නවා ඇති.
ඉන් ඇතුළු හරය මෙතෙක් සිතාගෙන සිටි අන්දමේ මුලුමනින් ම ඝන මදයක් නොව ද්‍රවමය යකඩ සුළි ගසමින් කරකැවෙමින් පවතින ඝන සහ ද්‍රව පදාර්ථ සම්මිශ්‍රණය වූ හත්මාළුවක් වැනි අවුල් ජාලයක් බව නවතම අධ්‍යයනයකින් අනාවරණය කෙරෙනවා.
පසුගිය ජූලි 5 වැනි දින Nature ජර්නලයේ පළ කර තිබෙන අධ්‍යයන වාර්තාවකට අනුව මේ සොයාගැනීමට පදනම් කරගෙන තිබෙන්නේ පෘථිවියේ ගැඹුරින් ම පරාවර්තනය වී ආපසු මතුපිටට එන භූ කම්පන තරංගවල දුර්වල දෝංකාරයන්. මේ සොයාගැනීම්වලට අනුව ද්‍රවමය පිටත හරය ඝනීකරණය වීමෙන් වසරකට මිලිමීටරයක (අඟල් 0.04) ශීඝ්‍රතාවයකින් දැනට වර්ධනය වෙමින් පවතින පෘථිවි අභ්‍යන්තර හරය පෘථිවි ඉතිහාසයේ මුල් කාලයේ දී මෙයට වඩා වේගයෙන් වර්ධනය වී තිබෙනවා.
ඒ සියල්ලටමත් වඩා මේ ඝන ඇතුළු හරය තුළ සිර වූ ද්‍රව යකඩ සුළි ගසමින් කරකැවෙමින් පවතින බව ඉහත අධ්‍යයන වාර්තාවේ ජ්‍යෙෂ්ඨ කතුවරයා වන එක්සත් ජනපදයේ යුටා සරසවියේ භූ විද්‍යාව සහ භූ භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්ය මෙන් ම භූ කම්පන විද්‍යාඥයෙකු ද වන Keith David Koper සඳහන් කරනවා.
“බොහෝ කාලයකට ඉස්සර ඇතුළු හරයේ සැබෑවට ම වේගවත් වර්ධනයක් තිබුණා. පසු ව එය සමතුලිතතා අවස්ථාවකට පැමිණ වඩාත් සෙමෙන් වර්ධනය වන්නට පටන් ගෙන තිබෙනවා. සියලු ම යකඩ ඝන බවට පත් වුණේ නැහැ. එනිසා ද්‍රව යකඩ යම් ප්‍රමාණයක් ඇතුළත සිර වී පවතිනවා.” ඔහු එසේ පවසනවා.
පෘථිවියේ ඇතුළු හරය වැඩියෙන් ම සෑදී ඇත්තේ යකඩ සහ නිකල් යන ලෝහ දෙකෙනුයි.
කිලෝමීටර් 2,440 ක ඝනකමක් තිබෙන මේ ඇතුළත හරය වටා කිලෝමීටර් 2,260 ක ඝනකමක් ඇති ද්‍රව යකඩ හා ද්‍රව නිකල් පිරුණු සාගරයක් කරකැවෙමින් පවතිනවා.
පෘථිවි මධ්‍යයේ මේ ලෝහවල කැලතීම නිසයි අපේ ග්‍රහලොවට අයත් චුම්භක ක්ෂේත්‍රය නිර්මාණය වී තිබෙන්නේ.
පෘථිවියේ ඇතුළු හරයට ඍජු ව ම ප්‍රවේශ විය හැකි මාර්ගයක් ඇත්තේ නැහැ.
එනිසා Keith David Koper සහ ඔහුගේ කණ්ඩායම විසින් භූ කම්පන තරංග සහ න්‍යෂ්ටික අවි අත් හදා බැලීම් සටහන් කෙරෙන භූ කම්පනමාන 20 කින් ලැබුණු මිනුම්වලින් ලැබුණු දත්ත ප්‍රයෝජනයට ගෙන තිබෙනවා.
ඇතුළු හරය දක්වා ගමන් කර ආපසු භූ කම්පනමානය වෙත දුබල තරංගයන් ලෙස පැමිණිය හැකි රිච්ටර් මාපකයේ 5.7 හෝ එයට වැඩි ප්‍රබලතාවයකින් යුත් භූමිකම්පා ඔවුන් මේ සඳහා යොදාගනු ලැබුවා.
ඔවුන්ගේ දත්ත පද්ධතියට මෙවැනි භූමිකම්පා 2,455 ක් ඇතුළත් වනවා.
“ඇතුළු හරයෙන් ආපසු එන සංඥාව ඇත්තට ම ඉතා කුඩා එකක්. එහි විශාලත්වය නැනෝමීටරයක තරමයි. අපි කරන්නේ පිදුරු ගොඩේ ඉඳිකටුවක් හොයන්නා වගේ වැඩක්. එනිසා මේ ළදරු දෝංකාරයන් පරාවර්තනයන් දකින්න ඉතා අමාරුයි.” Keith David Koper එසේ සඳහන් කරනවා.
Nature ජර්නලයේ දැක්වෙන වාර්තාවේ ඇතුළත් ප්‍රධානතම සොයාගැනීම වන්නේ ඇතුළු හරයේ සංයුතිය සමජාතීය නො වන බවයි. එය එකිනෙකට වෙනස් වියමන්වලින් සමන්විත බවයි එහි දැක්වෙන්නේ.
“පළමු වතාවට ඇතුළු හරය තුළ සෑම තැන ම මේ ආකාරයේ විෂමජාතීය බවක් තිබෙන බව අපි ස්ථිර ව ම සොයාගත්තා.” මේ පර්යේෂණයට සහභාගී වූ කෝනෙල් සරසවියේ පශ්චාත් ආචාර්ය උපාධි පර්යේෂකයකු වන Guanning Pang පවසනවා.
Live Science සහ Nature ඇසුරෙනි.
ප්‍රේමශාන්ත කුමාරසිරි
1 comment
[…] විදුසර| පෘථිවි ගෝලයේ අභ්‍යන්තරයට යාමේ දී පිළිවෙළින් කබොල, ඉහළ ප්‍රාවරණය, පහළ ප්‍රාවරණය, පිටත හරය සහ ඇතුළු හරය යන ස්තරයන් හමු වන බව ඔබ දන්නවා ඇති. ඉන් ඇතුළු හරය මෙතෙක් සිතාගෙන සිටි අන්දමේ මුලුමනින් ම ඝන මදයක් නොව ද්‍රවමය යකඩ සුළි ගසමින් කරකැවෙමින් පවතින ඝන සහ ද්‍රව පදාර්ථ සම්මිශ්‍රණය වූ හත්මාළුවක් වැනි අවුල් ජාලයක් බව…|තව කියවන්න විදුසර […]