Home Science News NETFLIX හඳුන්වාදුන් නව තාක්ෂණය : Magenta Green Screen

NETFLIX හඳුන්වාදුන් නව තාක්ෂණය : Magenta Green Screen

by Sathya

Green Screen උපක්‍රමය ලෝක සිනමා කර්මාන්තයේ බහුල වශයෙන් යොදා ගැනෙනා තාක්ෂණයක්. එහි දී සිදු වන්නේ රංගන ශිල්පීන් දීප්තිමත් කොළ පැහැති පසුබිමක් ඉදිරියේ රංගනයේ යෙදීමයි. දර්ශනයට ඇතුළත් විය යුතු පසුබිම ඇතුළත් කෙරෙන්නේ නිර්මාණයේ පසු නිෂ්පාදන අදියරේ දීයි. එහි දී පරිගණක අනුසාරයෙන් දීප්තිමත් කොළ පැහැය පෙර සකස් කරගත් දර්ශනයකින් ප්‍රතිස්ථාපනය කෙරෙනවා. සිනමා කර්මාන්තයේ පමණක් නොව බොහෝ මාධ්‍ය නාලිකාවල පුවත් සහ කාලගුණ වාර්තා විකාශන කටයුතු සිදු වන්නේත් මේ තාක්ෂණය යොදාගෙනයි.

නමුත් එහි යම් අඩුපාඩු ද නැතිවා නොවෙයි. සජීව විකාශයන් අතරතුර දී නිවේදකයා හෝ රංගන ශිල්පියා කොළ පැහැය සහිත ඇඳුම් ඇඟලාගෙන සිටියහොත් ඒ ප්‍රදේශය ද කෙරෙන පසුතලයෙන් වැසී යා හැකියි. හිස කෙස් මෙන් ම විනිවිද පෙනෙන භාණ්ඩ ද ඇතැම් විට නොපෙනී යා හැකියි. මේ හේතුවෙන් චිත්‍රපට සහ ටෙලි කතා මාලාවල දර්ශන පටිගත කිරීමේ දී එහි දෘශ්‍ය ප්‍රෙයා්ග විශේෂඥයන්ට ඇතැම් අවස්ථාවල දී වඩාත් නිරවද්‍ය දර්ශනයක් පටිගත කර ගැනීම සඳහා පැය ගණනක් වැය කරන්නට සිදු වනවා.

Netflix සමාගමේ පර්යේෂණ කණ්ඩායමක් මෙයට විසඳුම් ගෙන එන නව උපක්‍රමයක් සොයාගන්නට සමත් වී තිබෙනවා. ඔවුන් එය හඳුන්වන්නේ මැජෙන්ටා ග්‍රීන් ස්ක්‍රීන් (Magenta Green Screen – MGS) ලෙසයි. මෙහි දී දර්ශන රූගත කෙරෙන්නේ කොළ පැහැති දීප්තිමත් LED තිරයක් පසුබිම් කරගෙනයි. නමුත් පසුබිම හැරෙන්නට දර්ශනයට අයත් සියලු විෂයයන් මැජෙන්ටා වර්ණයකින් නහවමින්, ඉදිරිපසින් රතු සහ නිල් ආලෝකයක් ද එල්ල කරනු ලබනවා.

රූගත කිරීම් සඳහා යොදාගන්නා ඩිජිටල් කැමරාවක පික්සලයක් නිර්මාණය වන්නේ රතු, කොළ සහ නිල් වර්ණය එක් වෙමින්. මේ උපක්‍රමය මඟින් කොළ චැනලය පමණක් යොදාගෙන පසුතලය පටිගත කරනට කැමරාව පෙළඹෙන අතර ඉදිරිබිම (foreground) පටිගත වන්නේ කළු, රතු සහ නිල් චැනල පමණක් යොදාගෙනයි.

මෙහි දී වීඩියෝ සංස්කාරකවරුන්ට කොළ පැහැ චැනලය වෙනස් කර තත්කාලීන ව පසුතලය එක්කර ගැනීමේ හැකියාව ද හිමි වනවා. එමෙන් ම රංගන ශිල්පීන්ගේ හිසකෙස් මෙන් ම විනිවිද පෙනෙන බෝතල් වැනි දෑ ද කිසිඳු අපහසුවකින් යුතු ව සංස්කරණයට අනුගත කරගත හැකි බවයි Netflix පර්යේෂකයන් සඳහන් කරන්නේ.
මැජෙන්ටා ආලෝකය යටතේ පටිගත වූ ඉදිරිබිමේ දර්ශන කෘත්‍රිම බුද්ධි වැඩසටහනක් මඟින් ස්වභාවික වර්ණයන්ගෙන් නැවත වර්ණ ගැන්වෙනවා. ඒ සඳහා වර්ණ මූලාශ්‍රයක් වශයෙන් යොදාගත හැකි ඡායාරූපයක් ස්වභාවික වර්ණ යටතේ රූගත කිරීමට පෙර ලබාගත යුතු යි. කෘත්‍රිම බුද්ධය යටතේ මැජෙන්ටා වර්ණය ස්වභාවික ලෙස වර්ණ ගැන්වීම තත්කාලීන ව සිදු කළ නො හැකි වුවත් එය ද ඉතා ඉක්මනින් ඉටුකර ගත හැකි බවයි පර්යේෂණයට එක් වූ Paul Debevec සඳහන් කරන්නේ.

කෙසේ නමුත් මේ තාක්ෂණය මැදිරි තුළ දී කෙරෙන රූගත කිරීම් සඳහා රුකුලක් වුවත් එළිමහන් රූගත කිරීම් සඳහා ප්‍රායෝගික නොවන්නට ද ඉඩ තිබෙනවා.

New Scientist ඇසුරෙනි.

සත්‍ය හෙට්ටිආරච්චි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications