Home Science News Starlink නිසා අහස නිරීක්ෂණයට බාධා

Starlink නිසා අහස නිරීක්ෂණයට බාධා

by Sathya

ඊලෝන් මස්ක්ගේ Starlink ක්ෂුද්‍ර චන්ද්‍රිකා පොකුර මේ වන විට චන්ද්‍රිකා දහස් ගණනකින් සමන්විත වනවා. නමුත් නව අධ්‍යයනයකින් පෙන්වා දෙන්නේ එහි ඇති චන්ද්‍රිකා මඟින් විද්‍යුත් චුම්භක විකිරණය මුදා හැරෙන බවයි. ඉන් පෘථිවියේ සිට පර්යේෂණයන්ගේ නිරත විද්‍යාඥයන්ගේ කටයුතු අඩාල වී යාමේ අවදානමක් පැන නඟිමින් තිබෙන බව හෙළි වී තිබෙනවා.

Astronomy & Astrophysics ජර්නලයේ පළ වූ එකී අධ්‍යයනයට අනුව පර්යේෂකයන් SpaceX හි Starlink චන්ද්‍රිකා 68ක් සමීප ව නිරීක්ෂණය කර තිබෙනවා. එහි දී පෙනී ගොස් තිබුණේ ඒවා පිට කරන විද්‍යුත් චුම්භක විකිරණය මඟින් ගැඹුරු අභ්‍යවකාශයේ සිට පැමිණෙන සංඥා පටලවා දමන බවයි. රේඩියෝ දුරේක්ෂ මඟින් කෙරෙන නිරීක්ෂණ කටයුතු සඳහා ඉන් බාධා පැමිණෙනවා. ඒ Starlink චන්ද්‍රිකා මඟින් මුදා හැරෙන විද්‍යුත් චුම්භක විකිරණ තරංග, ජාත්‍යන්තර විදුලි සංදේශ සංසදය (International Telecommunications Union – ITU) විසින් රේඩියෝ නිරීක්ෂණ කටයුතු සඳහා වෙන් කර ඇති තරංග පරාසයට සමාන්තර වීම හේතුවෙන්.

‘චන්ද්‍රිකා 68න් 47ක් ම 110MHz සහ 188 MHz අතර විකිරණය මුදා හරිනු නිරීක්ෂණය වුණා. මේ සංඛ්‍යාත අතරට ITU විසින් රේඩියෝ තාරකා විද්‍යාව වෙනුවෙන් වෙන් කර ඇති ආරක්ෂිත සංඛ්‍යාතය වන 150.05 MHz සහ 153 MHz ද ඇතුළත්’ අධ්‍යයනයේ සම කර්තෘවරයා වන Netherlands Institute for Radio Astronomy හි Cees Bassa සඳහන් කරනවා.

කෙසේ නමුත් මෙවැනි ආකාරයේ විකිරණයන් කිසිඳු ජාත්‍යන්තර නීතියකින් බැඳී නොපවතින බැවින් SpaceX ආයතනය නීති විරෝධී ලෙස කටයුතු කරන බව පැවසිය නො හැකියි. නමුත් පොළොව මත දී නම් එවැනි විකිරණයක් නිකුත් කළ හැකි උපාංග භාවිතය දැඩි ලෙස නියාමනය කර තිබෙනවා. ඒ ද මෙවැනි ආකාරයේ බාධා වීම් වළකන්නටයි.

මේ වන විට රටවල් 50කට අධික සංඛ්‍යාවකට අන්තර්ජාල සේවා සපයන Starlink චන්ද්‍රිකා පොකුර, ක්ෂුද්‍ර චන්ද්‍රිකා 3000කට අධික ගණනකින් සමන්විතයි. SpaceX බලාපොරොත්තු වන්නේ 2027 වන විට එය සතු චන්ද්‍රිකා ප්‍රමාණය 10,000 දක්වා ඉහළ දැමීමටයි.

මින් පෙර චන්ද්‍රිකා මඟින් අහස නිරීක්ෂණය කිරීමට පමුණුවන බාධා වශයෙන් කතිකාවට ලක් වුණේ දෘශ්‍ය පරාසයේ ඡායාරූපකරණයට සිදු වන බාධා පමණයි. රාත්‍රී අහසේ ගැනෙනා ඡායාරූප මත, සුදු පැහැති රේඛා අඳිමින් චන්ද්‍රිකා ඒවා යම් පමණකට විකෘති කර දමා තිබුණා. නමුත් චන්ද්‍රිකාවල විකිරණය මඟින් රේඩියෝ තාරකා විද්‍යාවට කෙරෙන බලපෑම තවමත් නිසි අවධානයට ලක් ව නැහැ.

CTV News ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications