සඳෙහි නො පෙනෙන පැත්තේ පිහිටන කොම්ප්ටන් – බෙල්කෝවිච් යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශය අන් ප්‍රදේශයන්ට සාපේක්ෂ ව වෙනස් ගති සොබා ප්‍රකට කරන බව විද්‍යාඥයන් නිරීක්ෂණය කර තිබුණේ දශක දෙකකට පමණ පෙර සිටයි. භූ ලක්ෂණ අතින් එහි යම් විෂමාකාර බවක් පෙනී ගිය අතර මතුපිට සිට මීටරයක් පමණ ගැඹුරක් දක්වා විහිදෙන තුරු පසෙහි සංයුතියේ වැඩි වශයෙන් තෝරියම් ද අඩංගු වුණා.
ඇරිසෝනාවේ ග්‍රහ විද්‍යා ආයතනයේ (Planetary Science Institute) කටයුතු කරන Matt Siegler ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායමක් විසින් කරන ලද නවතම පර්යේෂණයකින් සඳෙහි මෙම ප්‍රදේශයේ කිලෝමීටර 50ක් පමණ පළලැති සහ කිලෝමීටර කිහිපයක් ඝනකමැති වපසරියක් අසාමාන්‍ය ලෙස උෂ්ණත්වයෙන් යුතු බව අනාවරණ වී තිබෙනවා. ඔවුන් මේ සොයාගැනීම සඳහා උපයෝගී කරගෙන තිබුණේ චීනය විසින් සඳ වටා කක්ෂගත කරන ලද Chang’e 1 සහ Chang’e 2 ඔර්බිටර් චන්ද්‍රිකා මඟින් ලබාගත් දත්තයි. එම ප්‍රදේශයේ බහුල වශයෙන් හමු වන තෝරියම් සහ යුරේනියම් වැනි විකිරණශීලී මූලද්‍රව්‍යයන් දිරාපත් වීමේ ක්‍රියාවලිය මෙසේ කැපී පෙනෙන උෂ්ණත්වයක් ඇති වීමට හේතුව වී තිබෙනවා. එවැනි මූලද්‍රව්‍ය බහුල වීමට ඇති හොඳ ම හේතුවක් වශයෙන් යමහල් ක්‍රියාකාරිත්වය නිසා පාෂාණවල සිදු වන දිය වීම හඳුනාගත හැකියි.
‘අපි මතුපිට දී දකින තෝරියම් සුළු ප්‍රමාණය මතුපිටට යටින් ඇති සුවිසල් ‘අයිස් කන්දක’ මුදුන පමණයි. එය කලෙක යමහලේ නාලිකා වශයෙන් ක්‍රියා කළා.’ Siegler සඳහන් කරනවා. ‘එය සඳ මත දී යමහල් නිර්මාණය වූයේ කෙසේ දැ යි ඉගෙනීමේ නිම් වලලු පුළුල් කරනවා.’
මෙම යමහල අවසන් වරට විදාරණයට ලක් ව ඇත්තේ අදින් වසර බිලියන 3.5කට පමණ ඉහත දී බවයි ඒ අවට ඇති භූ ලක්ෂණයන් පෙන්වා දෙන්නේ. උණු වූ පාෂාණ මේ වන විට සිසිල් වී යළි ඝන තත්ත්වයකට පත් ව සුවිසල් ග්‍රැනයිට් තට්ටුවක් බවට පත් ව තිබෙනවා. එය හැඳින්වෙන්නේ බැතොලිත් (batholith) යනුවෙන්. මෙවැනි සථාන කිහිපයක් සඳ මතින් හමු වී තිබුණත් ඒ එක තැනක් වත් කොම්ප්ටන් – බෙල්කොවිච් තරම් විකිරණශීලී නැහැ.
මෙවැනි ම ආකාරයේ බැතොලිත් තට්ටු පෘථිවියේ ද යමහල් පද්ධති ආශ්‍රිත ව දැකගත හැකියි. නමුත් එවැන්නක් සඳ මත දී හමු වූ පළමු අවස්ථාව මෙයයි. ‘පෘථිවියේ නම් යමහල් ක්‍රියාකාරකම් සිදු වන්නේ භූ තැටි සහ ජලය පදනම් කරගෙනයි. නමුත් සඳේ ඒ දෙක ම නැහැ. සඳ මත මේ තරම් මහා පරිමාණ යමහල් ක්‍රියාකාරිත්වයක් පැවතියා යැයි අප දැන සිටියේ නැහැ.’ Siegler සඳහන් කරනවා.
New Scientist අසුරෙනි.
සෞන්දර්ය සෙනරත්