පසුගිය දශක දෙකක කාලය ඇතුළත ලොව ඇති සාගර අතරින් අඩක ම වර්ණය කැපී පෙනෙන ලෙස වෙනස් වෙමින් පවතිනවා. නව අධ්‍යයනයකින් පැහැදිලි වන්නේ මෙයට හේතුව, සිදු වෙමින් පවතින දේශගුණික විපර්යාසයන් බවයි.
සමකාසන්න සාගර කලාප පැහැදිලි ස්වභාවික සංසිද්ධියකින් විග්‍රහ කළ නො හැකි ආකාරයකින් නිල් පැහැයේ සිට කොළ පැහැය දක්වා සිය වර්ණය වෙනස් කරමින් සිටිනවා. වසරින් වසර මේ තත්ත්වය ඉහළ ගොස් ඇති බව ඒ ඒ වසරවලට අදාළ දත්ත සංසන්දනයේ දී පැහැදිලි ව පෙනී යන්නක්.
MIT තාක්ෂණායතනය විසින් නිකුත් කරන ලද ප්‍රකාශයක දැක්වෙන්නේ මේ වර්ණ විකෘතිය සිදු වන්නේ සාගරයේ ඉහළ ස්තරවල ඇති සංඝටක නිසා බවයි. නිල් පැහැති සාගර කලාපවල ඉහළ ස්තරයේ ජීවීන් බහුල ව වාසය නො කරන අතර කොළ පැහැ අඳුරක් ලැබූ සාගර කලාප phytoplankton නම් ප්‍රභාසංශ්ලේෂණය කරන සාගර ඇල්ගේ විශේෂයෙන් ගහනයි. සාගර ආහාර දාමයේ මූලය ලෙස සැලකිය හැකි එය විශාල මසුන්ගේ ගොදුරය ලක් වන කුඩා මසුන්ගේ ආහාරය ද වනවා.
නමුත් දේශගුණ අර්බුදය සමග සටන් කිරීමේ දී phytoplankton ඉදිරි පෙළ සේනාවක් ලෙස ක්‍රියා කරනවා. පර්යේෂකයන් ඇස්තමේන්තු කරන්නේ මිනිසා විසින් මුදා හැරෙන කාබන් ඩයොක්සයිඩ් අතුරින් 30%ක් ම පාහේ උරාගනු ලබන්නේ මේ ඇල්ගේ විශේෂ බවයි.
විවිධ කාණ්ඩයන්ට අයත් ප්ලෑන්ක්ටන් ඇල්ගේ විවිධාකාර ලෙස ආලෝකය පරාවර්තනය කරනවා. සාගරයේ වර්ණය වෙනස් වීම වෙනස් වන පරිසර පද්ධතියට අනුලෝම ව සමානුපාතික වන බවයි සාගර සහ දේශගුණ විද්‍යාඥ B. B. Cael පෙන්වා දෙන්නේ. මේ තත්ත්වය සාගරයේ ආහාර දාමය වෙනස් කර සාගරය සතු කාබන් ගබඩා කර තබා ගැනීමේ හැකියාව අඩපණ කර දමන්නට ඉඩ ඇති බව විද්වත් මතයයි.
Cael සහ ඔහුගේ පර්යේෂණ සගයන් මේ අධ්‍යයනය සඳහා දත්ත ලබාගෙන තිබෙන්නේ NASA ආයතනයට අයත් Aqua චන්ද්‍රිකාවේ Moderate Resolution Imaging Spectroradiometer (MODIS) ආධාරයෙන්. චන්ද්‍රිකාව වසර 21ක් තිස්සේ සාගර වර්ණ විපර්යාසය දෙස ඇස යොමාගෙන සිටියා. දෘෂ්‍ය වර්ණාවලීක්ෂයේ ආයාම හතකින් කළ නිරීක්ෂණයන් මඟින් පෙනී ගියේ 2002 සිට 2022 දක්වා කාලයේ සමස්ත සාගරයෙන් 56%ක ම වර්ණය වෙනස් වී ඇති බවයි.
මේ වෙනසට හේතුව දේශගුණික විපර්යාසය බව තහවුරු කර ගැනීම සඳහා ඔවුන් ලබාගත් දත්ත පෙර තනාගත් මොඩලයකට ඇතුළත් කර තිබුණා. මොඩලයෙන් තත්ත්වයන් දෙකක් යටතේ සාගරයේ හැසිරීම පරික්ෂා කර බැලුණා. ඒ හරිතාගාර වායු නොමැති අවස්ථාව සහ ඇති අවස්ථාව වශයෙන්. මෙහි දී පෙනී ගොස් තිබුණේ හරිතාගාර වායූන් සහිත මොඩලයේ හැසිරීම යථා ලෝකයේ දත්තවලට අතිශය සමාන බවයි. අධ්‍යයනයට අදාළ පර්යේෂණ පත්‍රිකාව පසුගිය බදාදා Nature ජර්නලයේ පළ වී තිබෙනවා.
Smithsonian Magazine ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්