ජූලි මාසය තුළ මැගලනික් පෙන්ගුයින් සතුන්ගේ මළ සිරුරු 2000ක් පමණ උරුගුවේ රාජ්‍යයේ වෙරළ තීරය මතට ගොඩ ගසා තිබෙනවා. උරුගුවේ පරිසර අමාත්යන්ශයේ කටයුතු කරන නිලධාරියෙකු වන Carmen Leizagoyen සඳහන් කර ඇති පරිදි ඇත්තේ ඒවා ‘අතිශය සිහින්’ සිරුරුවලින් සහ හිස් ආමාශයන්ගෙන් යුතු යි. ‘ගොඩගසා ඇති තරුණ වියේ පෙන්ගුයින් සතුන්ගෙන් සියයට අනූවකගේ ම මේද සංචිත මෙන් ම කුස ද හිස් ව තිබුණා.’ ඔහු සඳහන් කරනවා.
මේ මහා මියයාම් දාමයට නිශ්චිත හේතු ව සොයාගන්නට පරිසර විද්‍යාඥයන් තවමත් සමත් වී නැහැ. නමුත් සිදු වෙමින් පවතින දැවැන්ත දේශගුණික විපර්යාසය පෙන්ගුයින් වර්ගයාගේ ගහනය දැවැන්ත අර්බුදයකට ඇදහෙළමින් පවතින බැවින් මෙයටත් හේතුව එය ම වන්නට ඇතැයි අනුමාන කෙරෙනවා.
Spheniscus magellanicus යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මැගලනික් පෙන්ගුයින්ලා ’near threatened’ හෙවත් වඳ වී යෑමට ආසන්න විශේෂයක් ලෙස නම් කෙරුණේ 2004 වසරේ දී යි. පසුගිය දශක තුනක කාලය පුරා දකුණු ඇමරිකානු වෙරළ තීර මත ඔවුන්ගේ මළ සිරුරු වරින් වර හමු වීම සුලබ දසුනක් බවට පත් ව තිබුණා. 2010 වසරේ දී පෙන්ගුයින් සතුන් 500කට අධික පිරිසක් බ්‍රසීල වෙරළ තීර මත දී මියෑදී තිබුණා.
වැඩි වන ගෝලීය උෂ්ණත්වය ඔවුන්ගේ පැවැත්මට දැවැන්ත තර්ජනයක් වී තිබෙන බව පෙනී යන්නේ 2019 වසරේ දී ඔවුන්ගේ ස්වභාවික වාස භූමියක් වූ ආජන්ටිනාවේ දී ම 354 දෙනෙකු මිය යාම හේතුවෙන්. ඒ හැරුණුවිට හයිපෝතර්මියාව, කුණාටු තත්ත්ව සහ කුසගින්න හේතුවෙන් ද සිදු වන මියයාම් වාර්තා වනවා.
ග්‍රීෂ්ම ඍතුව උදා වීමත් සමග කැදලි තැනීම වෙනුවෙන් පෙන්ගුයින්ලා දකුණු ආජන්ටිනාව වෙත සංක්‍රමණය වෙනවා. මේ එන ගමන අතරතුර යම් පිරිසකගේ මිය යෑම සාමාන්‍ය යමක් වුවත් මෙතරම් සංඛ්‍යාත්මක ව ඉහළ සමූහයක් මිය යෑම ප්රශ්නකාරී බවයි සත්ත්වවේදීන් පෙන්වා දෙන්නේ.
Science Alert ඇසුරෙනි.
සත්‍ය හෙට්ටිආරච්චි