ගෝලීය උණුසුමේ අදියර අවසන් ව ‘ගෝලීය තැම්බීමේ’ යුගය ඇරඹී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියේ ගුටේරස් ඉකුත් සතියේ නිව්යෝක්හි පැවති දේශනයක් අතරතුර දී ප්‍රකාශ කළා. ඔහු ඒ බව සඳහන් කළේ ජූලි මාසයේ වාර්තා වන අධික උෂ්ණත්වය පිළිබඳ රතු එළියක් දල්වමින්.
ශ්‍රීෂ්ම ඍතුව ගිනියම් කරමින් පෙර නොවූ විරූ අධික උෂ්ණත්වයක් උතුරු අර්ධගෝලයේ පිහිටි ඇතැම් රාජ්‍යයන් වෙළාගෙන තිබෙනවා. ඇමරිකාව සහ යුරෝපයේ ඇතැම් කොටස්වල දිවි ගෙවන ජනතාව මේ හේතුවෙන් පීඩාවට පත් ව සිටිනවා. ග්‍රීසිය, ඉතාලිය සහ ඇල්ජීරියාව වැනි රටවල මැඩලීම අපහසු ලැව්ගිනි ද හටගෙන තිබෙනවා.
නිව් යෝක් නගරයේ පැවති දේශනය අතරතුර දී ගුටේරස් සඳහන් කළේ උතුරු අර්ධගෝලයට මුහුණ දෙන්නට සිදු ව තිබෙන්නේ ‘කුරිරු ග්‍රීෂ්මයකට’ බවයි. එය මුළු මහත් පෘථිවියට ම බලපාන ව්‍යසනයක් බවයි ඔහු සඳහන් කර තිබුණේ.
‘දේශගුණ විපර්යාස දැනටමත් පැමිණිලා. එය බිහිසුණුයි. ඒ වගේ ම එය තවම පටන්ගත්තා පමණයි. ගෝලීය උණුසුම් (global warming) යුගය අවසන් වී ගෝලීය තැම්බෙන (global boiling) යුගයක් ඇරඹිලා’ ඔහු ප්‍රකාශ කර තිබුණා.
යුරෝපානු සංගමය මඟින් යැපෙන Copernicus Climate Change Service මඟින් සපයා දී තිබෙන ERA5 දත්තවලට අනුව මෙතෙක් ලොව අත්දැක ඇති අධික ම උෂ්ණත්වයකින් යුතු මාසය ලෙස සටහන් වන්නේ අදින් අවසන් වන ජූලි මාසයයි. මින් පෙර එම වාර්තාව දැරුවේ 2019 වසරේ ජූලි මාසයයි.
සම්පූර්ණ ERA5 දත්ත ලබන අගෝස්තු 8 වැනි දා පොදු අවකාශයට නිරාවරණය කිරීමට නියමිතයි.
ඉකුත් බ්‍රහස්පතින්දා ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ද ප්‍රකාශ කර සිටියේ ගෝලීය දේශගුණ විපර්යාසය හමුවේ ඉහළ යන දැරිය නොහී උණුසුම මානව වර්ගයාගේ ‘පැවැත්ම කෙරෙහි තර්ජනයක්’ (existential threat) බවට පත් ව ඇති බවයි.
Al Jazeera ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්