මිනිසා ඈත විශ්වය වෙත යවා ඇති දෙවෙනි දුරස්ථ ම වස්තුව වන වොයේජර් – 2 අන්තර්තාරීය අභ්‍යවකාශ යානය මේ වන විට අපේ මව් ග්‍රහලොවෙන් කිලෝමීටර් බිලියන 19.9 ක් දුරින් තිබිය දී එය සමග NASA ආයතනයේ පැවති සම්බන්ධතාවය තාවකාලික ව බිඳ වැටී තිබෙනවා.
NASA ආයතනයට අයත් ජෙට් ප්‍රචාලන රසායනාගාරය (JPL) මඟින් නොබෝ දා නිකුත් කළ වාර්තාවකට අනුව පසුගිය ජූලි මස 21 වෙනි දිනයේ සිට මේ සන්නිවේදන ඇනහිටීම සිදු වී තිබෙන්නේ සැලසුම් කළ විධාන පෙළක ඇති වුණු ප්‍රමාද දෝෂයක් නිසා වොයේජර් – 2 යානයේ ඇන්ටෙනාව පෘථිවියෙන් අංශක 2 ක් ඉවතට හැරීයාම නිසයි.
මේ අනුව NASA ආයතනයේ ග්‍රහලෝකාන්තර මෙහෙයුම් රැසකට ආධාර කරන අන්තර්ජාතික හා විශාල රේඩියෝ ඇන්ටෙනා පෙළක් වන NASA හි Deep Space Network ජාලය සමග පණිවුඩ සම්ප්‍රේෂණය මෙන් ම ප්‍රතිග්‍රහණය ද ඇනහිට තිබෙනවා.
වාසනාවකට මෙන් මේ රේඩියෝ පණිවුඩ ඇනහිටීම තාවකාලික බව NASA ආයතනය පවසනවා. වොයේජර් – 2 යානයේ පරිගණක ක්‍රමලේඛනය කර තිබෙන්නේ එය පොළොවෙන් වඩ වඩාත් ඈත් වන විට වසරකට කීප වාරයක් එහි ඇන්ටෙනාව පොළොව සමග සම්බන්ධතාව පවත්වා ගත හැකි වන අයුරින් යළි යළිත් සකසා ගැනීමටයි.
ඒ අනුව මීළඟ නැවත සැකසීම ලබන ඔක්තෝබර් මස 15 වැනි දිනට සැලසුම් කර ඇති නිසා එදින සිට නැවත වොයේජර් – 2 යානය සමග සම්බන්ධතාව ඇරඹිය හැකි බව NASA ආයතනය සඳහන් කරනවා.
එකිනෙකට දින 16 ක පරතරයක් ඇති ව 1977 වසරේ අගෝස්තු සහ සැප්තැම්බර් මාස දෙකේ දී ගුවන්ගත කරන ලද නිවුන් සොහොයුරන් දෙදෙනෙකු බඳු වොයේජර් – 1 සහ වොයේජර් – 2 යන යානා යුගලයෙන් පළමු ව පිටත් කර හැරියේ මේ වොයේජර් – 2 යානයයි. ඉන් වොයේජර් – 1 යානය මෙතෙක් මිනිසා විසින් පෘථිවියෙන් වැඩි ම දුරකට යවා තිබෙන වස්තුව ලෙස මේ වන විට පොළොවේ සිට කිලෝ මීටර් බිලියන 23.8 ක් ඈතින් ගමනේ යෙදෙනවා. එහෙත් ඒ යානය සමග සම්බන්ධතාවයන් තවම අවහිර නොවී පවත්වා ගැනෙනවා.
NASA ආයතනයට අනුව වොයේජර් යානා යුගලයේ ම විද්‍යුත් ශක්තිය සහ ඉන්ධන යටත් පිරිසෙයින් 2025 වසර දක්වා දැනට කෙරෙන කටයුතු අඛණ්ඩ ව පවත්වාගෙන යාමට ප්‍රමාණවත් වෙනවා.
Live Science සහ JPL News ඇසුරෙනි.
ප්‍රේමශාන්ත කුමාරසිරි