Home Science News යෝධ වයිරස ගණනාවක හැඩතල ඡායාරූපගත කෙරෙයි

යෝධ වයිරස ගණනාවක හැඩතල ඡායාරූපගත කෙරෙයි

by Sathya

වයිරසයක පෙනුම ඇති නමුත් ප්‍රමාණයෙන් සැලකිය යුතු අන්දමින් විශාල ව්‍යුහයන් Giant Virus නො එසේ නම් ‘යෝධ වයිරස’ හෝ ‘ජයිරස්’ යනුවෙන් හැඳින්වෙනවා. ඇතැම් අවස්ථාවල දී බැක්ටීරියාවකගේ ශරීර ප්‍රමාණයටත් වඩා විශාලත්වයන්ගෙන් යුතු යෝධ වයිරස වාර්තා වී තිබෙනවා. මේවායේ පැවැත්ම මුලින් ම තහවුරු කෙරුණේ 2003 දීයි.

නවතම අධ්‍යයනයකින් යෝධ වයිරස කිහිපයක් සමීප ව ඡායාරූපගත කරන්නට පර්යේෂණ කණ්ඩායමක් සමත් ව සිටිනවා. එම යෝධ වයිරස සියල්ල ම ‌පස පදනම් කරගෙන හැසිරෙන ඒවා බව සඳහන්. මේ සඳහා දකුණු වේල්සයේ හාවර්ඩ් වනාන්තරයෙන් එකතු කරගත් කිලෝග්‍රෑම් බාගයක පමණ පස් සාම්පලයක් විශ්ලේෂණය කර තිබෙනවා.

පර්ය‌ේෂණය මෙහෙයවූයේ ජර්මනියේ මැක්ස් ප්ලාන්ක් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස විද්‍යාඥ Matthias Fischer ප්‍රමුඛ සගයන් විසින්. ඔවුන් සිය සොයාගැනීම පිළිබඳ තොරතුරු පසුගිය මාසයේ bioRxiv.org වෙත වාර්තා කර තිබුණා.

ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ මඟින් ඡායාරූපගත කර ඇති පරිදි, ඔවුන් විවිධ හැඩයන්ගෙන් යුතු යෝධ වයිරස හඳුනාගෙන තිබෙනවා. ඒ එක් එක් වයිරස ව්‍යුහයන්ට එහි බාහිර පෙනුම අනුව නමක් ද තබන්නට පර්යේෂකයන් අමතක කර තිබුණේ නැහැ. එක් යෝධ වයිරසයකට ඔවුන් නම තබා තිබුණේ ‘haircut’ ලෙසයි. එහි තන්තුමය ව්‍යුහයන් විසිරී තිබුණේ කොණ්ඩය කපන ලද මුහුණක් සිහි ගන්වමින්. තවෙකක් ග්‍රීක මිථ්‍යා කතාවල එන සතෙකු සිහිගන්වමින් ‘Gorgon’ ලෙස නම් කර තිබෙනවා. උරගයෙකුගේ හිසක පෙනුමින් යුතු තවත් යෝධ වයිරසයක් නම් කර ඇත්තේ ‘turtle’ හෙවත් ‘කැස්බෑවා’ ලෙසයි.

2003 සිට මේ දක්වා සිදු වූ පර්යේෂණ මඟින් යෝධ වයිරස ගණනාවකගේ ජානමය දත්ත අනාවරණය කරගන්නය වයිරස විද්‍ය‌ොඥයන් සමත් වී තිබෙනවා. ඒ්වා දළ වශයෙන් සෙම්ප්‍රතිශ්‍යාව ඇති කරන වයිරස මෙන් දස ගුණයත් පනස් ගුණයක් අතර විශාලත්වයකින් යුතුයි.

කෙසේ නමුත් ජානවලින් ම පමණක් යෝධ වයිරස දරා සිටින රහස් ලුහුබැඳීම කළ නො හැකියි. ඒ ඒවායේ හැඩය පිළිබඳ අදහසක් මෙන් ම ඒ්වා ආසාදනය වේ ද ඒ කෙසේ ද යන්න පිළිබඳ තවමත් තොරතුරු අනාවරණ වී නො තිබූ නිසයි. මෙම අධ්‍යයනය එකී තත්ත්වය වෙනස් කරන්නට පාර කපන ඇරඹුමක් වේ යැයි Fischer සඳහන් කරනවා.

යෝධ වයිරසවල අමුතු හැඩයන් ගැන අදහස් දක්වන Fischer සඳහන් කරන්නේ මීටත් වඩා අසාමාන්‍ය හැඩයන්ගෙන් යුතු ජයිරස් තවමත් නිරීක්ෂණයට ලක් නො වී තිබෙන්නට ඉඩකඩ ඇති බවයි. ‘පස් දෝතකින් මෙතරම් විවිධත්වයකින් යුතු ජයිරස් හමුවුණා කියන්නේ අපි තවම අල්ලලා තියෙන්නේ එවරස්ට් කන්දෙ මුදුන විතරයි කියන එක.’ ඔහු පවසනවා.

Science News ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications