ඇමරිකානු භෞතික විද්‍යාඥ ඩේවිඩ් පයින්ස් විසින් සුපිරි සන්නායක තුළ ඇතැයි 1956 වසරේ දී අනාවැකි පළ කර තිබූ භූත අංශුව වසර 67කට පසු සොයාගෙන තිබෙනවා.
මේ සොයාගැනීමේ ඇති වැදගත්කම වන්නේ එමඟින් සුපිරි සන්නායක ක්‍රියා කරන ආකාරය පිළිබඳ ව ලබා ඇති දැනුම වර්ධනය කරගත හැකි වීමයි.
පසුගිය අගෝස්තු 9 වැනි දින Nature ජර්නලයේ පළ කරනු ලැබූ මේ පිළිබඳ වාර්තාවට අනුව පයින්ස් ගේ භූත අංශුව පාරදෘශ්‍ය, අනාරෝපිත අංශුවක් වන අතර එය සොයාගෙන තිබෙන්නේ ස්ට්‍රොටියම් රුතෙනේට් (Sr2RuO4) යන සුපිරි සන්නායකය තුළිනුයි.
මේ අංශුව ප්ලාස්මා අවස්ථාවේ ඇති පදාර්ථ තුළ ඉලෙක්ට්‍රෝන හරහා රැළිති මෙන් ගමන් කරන අංශුවකට බෙහෙවින් සමාන ව හැසිරෙන ප්ලාස්මෝන් නම් ක්වාසි අංශුවක් ලෙස සැලකෙනවා.
සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයින් සිතන අන්දමට ප්ලාස්මෝන මඟින් ද්‍රව්‍ය තුළ සුපිරි සන්නායකතාවය සඳහා පහසුකම් සලස්වනවා.
ඒ අනුව භෞතික විද්‍යඥයින් විසින් කාමර උෂ්ණත්වයේ සුපිරි සන්නායක තුළ පයින්ස්ගේ භූත අංශුව ක්‍රියා කරන ආකාරය සොයාගත හැකි වුවහොත් විදුලිය අපතේ යාමකින් තොර ව සම්ප්‍රේෂණය කළ හැකි අන්දම දැනගත හැකි වෙනවා.
මේ භූත අංශු වර්ගය පිළිබඳ ව පසුගිය කාලය තුළ ම සෛද්ධාන්තිකව අනුමාන කර තිබුණ ද පර්යේෂකයන් විසින් ඒ පිළිබඳ ව අධ්‍යයනය කර නො තිබූ බව එක්සත් ජනපදයේ ඉලිනොයිස් Urbana Champaine සරසවියේ භෞතික විද්‍යා මහාචාර්ය Peter Abbamonte පවසනවා.
මේ අංශුව සොයාගැනීම සඳහා විද්‍යාඥයින් ස්ඵටිකීකරණය කළ ස්ට්‍රොන්ටියම් රුතෙනේට් මතට ඉලෙක්ට්‍රෝන ප්‍රවාහයක් යවා ආපසු පරාවර්තනය වන ඉලෙක්ට්‍රෝන වල ශක්ති ප්‍රමාණයන් මැන තිබෙනවා. එමඟින් ඔවුන් සුපිරි සන්නායක ද්‍රව්‍යය තුළ අඩංගු ප්ලාස්මා තරංගයේ ගම්‍යතාව ගණනය කරනු ලැබුවා.
Live Science සහ Nature ඇසුරෙනි.
ප්‍රේමශාන්ත කුමාරසිරි