ෆොසිලකරණයට ලක් වූ යෝධ ඉල ඇට සහ කොඳු ඇට පුරුක් අධ්‍යයනය මඟින් ලොව විසූ දැවැන්ත ම මෙන් ම බරැති ම සත්ත්වයා යැයි උපකල්පනය කළ හැකි පුරාතන තල්මසෙකු අනාවරණය කරගෙන තිබෙනවා. දළ වශයෙන් අදින් වසර මිලියන 39කට පෙර සාගරයේ වාසය කළ ක්ෂීරපායීයෙකු වන ඌ විද්‍යාත්මක ව Perucetus colossus ලෙස හැඳින්වෙනවා.
මේ ෆොසිල සොයාගනු ලැබුණේ පේරු රාජ්‍යයෙන්. P. colossusගේ අස්ථියක මෙට්‍රික් ටොන් 5ත් 7ත් අතර අගයක් ගන්නවා. එය නූතනයේ විශාලතම සත්ත්වයා ලෙස සැලකෙන නිල් තල්මසාගේ අස්ථි පද්ධතිය මෙන් දෙ ගුණයත් තුන් ගුණයත් අතර ප්‍රමාණයක්.
‘පේරුවලින් හමු වූ ෆොසිල පළමු බැල්මෙන් ම විශේෂිත බව පෙනුනා.’ එසේ පවසන්නේ ජර්මනියේ Stuttgartහි පිහිටි ස්වභාවික ඉතිහාසය පිළිබඳ ජාතික කෞතුකාගාරයේ පාෂාණධාතුවේදියෙකු වන Eli Amson. මෙසේ හෙළි කරගත් ෆොසිල අතර කොඳු ඇට පුරුක් 13ක් අන්තර්ගතයි. ඉන් එකක් අවම තරමේ කිලෝග්‍රෑම් 100ක බරකින් යුක්තයි.
Amson සහ ඔහුගේ පර්යේෂණ සගයන් සඳහන් කරන පරිදි ඔවුන්ගේ අස්ථි සැකිල්ල සැකසී තිබෙන්නේ වෙරළ තීරයට සමාන්තර නො ගැඹුරු සාගර කලාපවල පිහිනා යා හැකි පරිද්දෙන්. ගැඹුරු දියඹේ සැරිසරන තල්මසුන්ට නම් අපහසුවකින් තොර ව දිය යටට පිහිනා යළි වාතය මුදා හැරීමට ජල තලය මතුපිටට පැමිණිය හැකි පරිදි බරින් අඩු අස්ථි පද්ධතියක් පිහිටා තිබිය යුතුයි. P. colossus සතු යෝධ අස්ථි නො ගැඹුරු දියේ
උඩුකුරු තෙරපුමට එදිරි ව සිරුර පවත්වාගෙන යාමටත්, පෙණහලුවල වාතය රඳවා ගනිමින් එය පාලනයට නතු කරගැනීමටත් හැකියාව ලැබී තිබෙන බව පෙනී යනවා.
සජීව P. colossus සතෙකුගේ බර මෙට්‍රික් ටොන් 85 සිට 340 පමණ අගයක් ගන්නට ඇතැයි සැලකෙනවා. එනම් සාමාන්‍ය නිල් තල්මසෙකුගේ බරෙහි සිට මගී ප්‍රවාහන ගුවන්යානා 8ක සමස්ත බර අතර විචල්‍ය අගයක් විය හැකියි.
Science News ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්