Home Science News වසර 400ක් පැරැණි දෙපයට විලංගු දැමූ දරුවෙකුගේ ඇටසැකිල්ලක් සොයාගැනේ

වසර 400ක් පැරැණි දෙපයට විලංගු දැමූ දරුවෙකුගේ ඇටසැකිල්ලක් සොයාගැනේ

by Sathya

වසර 400කට ඉහත දී වළ දැමූ දරුවෙකුගේ ඇටසැකිල්ලක් පෝලන්තයේ සුසාන භූමියකින් පාදා ගැනීමට එරට පුරාවිද්‍යාඥයන් සමත් වී තිබෙනවා. විශේෂත්වය නම් එහි දෙපය විලංගු දමා තිබීමයි. එකල තිබූ විශ්වාසයන්ට අනුව මරණයෙන් අවදි වී නැවත පැමිණෙනු වැළැක්වීමේ අදහසින් එසේ කරන්නට ඇති බව උපකල්පනය කෙරෙනවා.

17 වැනි සියවසට අයත් මෙම දරුවාගේ ඇටසැකිල්ල සොයාගනු ලැබු‍ෙණේ පෝලන්තයේ උතුරුකරයේ පිහිටි Bydgoszcz නම් නගරයේ ඇති Pień නම් ගම්මානයට අයත් සුසාන භූමියකින්. එය පල්ලියට අයත් සුසාන භූමියක් නො වන අතර ‘අත්හැර දමන ලද ආත්මයන්’ වෙනුවෙන් වෙන් කර තිබූ සුසාන භූමියක් බව හෙළි වී තිබෙනවා. එහි භූමදානය කර තිබෙන්නේ පල්ලියේ සුසාන භූමියේ භූමදානය කිරීමට තරම් වත්පොහොසත්කම් නො විඳි අයගේ සිරුරුයි.

පසුගිය වසරේ එම සුසාන භූමියෙන් ම දෙපයට විලංගු දැමූ කාන්තාවකගේ ඇටසැකිල්ලක් ද සොයාගනු ලැබුණා. එහි ගෙල ප්‍රදේශය අසලින් දෑකැත්තක් ද තැන්පත් කර තිබිය දී හමු වුණා. ඇය හැඳින්වෙන්නේ ‘වැම්පයර් කාන්තාව’ ලෙසයි. එකල පැවැති අභිචාර චාරිත්‍රයන්ට අනුව යමෙකුගේ සිරුර වළ දැමීමට පෙර දෙපයට විලංගු දමන්නේ ඔහු හෝ ඇයගේ සිරුර සොහොන තුළ සුරක්ෂිත කර තැබීමේ අරමුණින්.

ගවේෂණය මෙහෙයවූ Toruńහි නිකලස් කොපර්නිකස් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාඥ Dariusz Poliński Live Science වෙබ් අඩවියට සඳහන් කර ඇති පරිදි එකල සමාජය අඩු වයසින් මියයන දරුවන්ගේ මළ සිරුරු පිළිබඳ බියකින් පසු වී තිබෙනවා.

පසුගිය වසරේ දී සොයාගත් ‘වැම්පයර් කාන්තාව’ ලෙස නම් කළ කතගේ සොහොන් වළ අධ්‍යයනය කිරීමේ දී පෙනී ගොස් තිබුණේ ඇය වත්පොහොසත්කම් අතින් අඩුවක් නො විඳි අයෙකු බවයි. යම් කිසි හේතුවක් නිසා ඇය මෙම දුගී සුසානයෙහි වළ දමා ති‍බුණා. ඇඳුම්වල තිබී රත්‍රන් නිර්මිත නූල් හමු වූ අතර හිස් කබලේ තිබී රත්‍රන් බිඳු හමු වී තිබුණේ මිය යාමට ආසන්න සමයක දී ඇය රත්‍රන් අඩංගු වූ ඔසුවක් පානය කර තිබූ බව අඟවමින්.

දරුවාගේ සහ කාන්තාවගේ අස්ථිවල DNA විශ්ලේෂණය කිරීම මඟින් එ්වා සඟවාගෙන සිටින රහස් අනාවරණය කරගැනීමට හැකියාව ලැබෙනු ඇතැ යි පෝලන්ත පුරාවිද්‍යාඥයන් බලාපොරොත්තුවෙන් සිටිනවා.

Scientific American ඇසුරෙනි.

සත්‍ය හෙට්ටිආරච්චි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications