Home Science News U-2 යානයක් අකුණු කුණාටු වෙත

U-2 යානයක් අකුණු කුණාටු වෙත

by Sathya

වැඩිදියුණු කරන ලද U-2 ගුවන් යානයක් අකුණු කුණාටුවක් (thunderstorm) මැද්දෙන් පියාසර කරවා ගැමා කිරණ සැණෙලි පිළිබඳ වැදගත් දත්ත රාශියක් වාර්තා කර ගැනීමට NASA සමත් වී තිබෙනවා.

ඉහළටත් පහළටත් විහිදී යන වේගවත් සුළං ධාරා මඟින් වාතය සහ ජලය අධික වේගයෙන් කැලැත්තීමේ හැකියාව අකුණු කුණාටු සතුයි. මෙසේ වේගයෙන් ඇදී යන වා ධාරාවන් සමග අයිස් ස්ඵටික ඝට්ටනය වීමේ දී විදුලි එළිය නිපදවෙන විද්‍යුත් ක්ෂේත්‍රයක් නිර්මාණය වනවා. ඇතැම් අවස්ථාවන්වල දී මෙකී නිදහස් ඉලෙක්ට්‍රෝන මඟින් කෙටි ම සහ විද්‍යුත් චුම්භක වර්ණාවලීක්ෂයේ නිරූපණය වන පරිදි වැඩි ම ශක්ති ප්‍රමාණයක් ගැබ් ව ඇති ගැමා කිරණ සැණෙලි ද නිකුත් කෙරෙනවා. අකුණු කුණාටුවකින් දෙ වර්ගයක ගැමා කිරණ විකිරණයන් නිකුත් කෙරෙනවා. එනම් ඇසිල්ලකින් නිවී යන කෙටි ගැමා කිරණ සැණෙලි සහ විනාඩියක සිට පැය ගණනක් ඇදෙන දිගු ගැමා කිරණ ප්‍රභාවන්.

මේ සංසිද්ධිය ගැන ඇති අවබෝධය පුළුල් කර ගැනීම වෙනුවෙනුයි අන්තර්ජාතික විද්‍යාඥ කණ්ඩායමක් විසින් NASA ආයතනයට අයත් ER-2 ගුවන් යානය මෙකී පර්යේෂණය සඳහා යොදා ගැනුණේ. U-2 නම් ඔත්තු බැලීමේ කටයුතු සඳහා යොදාගන්නා යානයක් අලුත්වැඩියා කිරීමෙන් අනතුරු ව නිමවාගෙන ඇති ER-2 යානය ඉතා ඉහළ උන්නතාංශයක් වෙත ළඟා වීමට සමත්කම් පානවා. NASA ආයතනයේ මාෂල් පියාසැරි මධ්‍යස්ථානය (Marshall Flight Center) නිවේදනයකින් සඳහන් කර ඇති පරිදි කිලෝමීටර 18ක් පුරා විහිදුණු අකුණු වලාකුළකට අතිශය සමීප ව, ආරක්ෂිත දුරකින් පියාසර කරමින් මේ පරීක්ෂණය සිදු කළ බවයි. එය ‘ගැමා කිරණ සහ අකුණු කුණාටු ගැන මෙතුවක් කලකට වාර්තා වී ඇති වඩාත් සවිස්තරාත්මක ම විශ්ලේෂණය’ එය බවයි වැඩි දුරටත් එම නිවේදනයෙහි දැක්වෙන්නේ.

නොර්වේහි Bergen සරසවියෙන්, ඇමරිකානු නාවික පර්යේෂණ විද්‍යාගාරයෙන් සහ NASA ආයතනයේ ම අනු මධ්‍යස්ථාන 3ක් නියෝජනය කළ පර්යේෂකයන් පිරිසක් මේ පර්යේෂණය සමගින් අත්වැල් බැඳගෙන තිබුණා.

Space.com ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications