නෙප්චූන්ගේ වායුගෝලයේ හටගත් සුවිශාල අඳුරු පැහැති පැල්ලමක් සහ ඒ ආසන්නයේ පිහිටන දීප්තිමත් ස්ථානයක් නිරීක්ෂණය කිරීමට තාරකා විද්‍යාඥයන් සමත් ව සිටිනවා. මේ නිරීක්ෂණය සිදු කර තිබුණේ චිලීහි පිහිටා ඇති European Southern Observatory නිරීක්ෂණාගාරය සතු Very Large Telescope දුරේක්ෂය ආධාරයෙන්.
මින් පෙර හබල් වැනි වූ අභ්‍යවකාශයේ පිහිටි දුරේක්ෂ ආධාරයෙන් නෙප්චූන් මත ඇති වන අඳුරු පැහැ පැල්ලම්වල ස්වරූපයෙන් යුතු කුණාටු දැක බලා ගන්නට හැකියාව ලැබී තිබුණත් එවැන්නක් පෘථිවියේ පිහිටුවා ඇති දුරේක්ෂයක් ආධාරයෙන් නිරීක්ෂණය කළ ප්‍රථම අවස්ථාව මෙයයි.
මෙහි දී අඳුරු පැහැ පැල්ලම අද්දර ඇති සාපේක්ෂ වශයෙන් අසාමාන්‍ය දීප්තියකින් යුතු වලාවක් ද නිරීක්ෂණය වී තිබෙනවා. එම ව්‍යුහයන් දෙක එක ම වායුගෝලීය මට්ටමක පවතින බවයි පර්යේෂකයන්ගේ නිගමනය. එවැන්නක් මින් පෙර මතු වූ අඳුරු පැල්ලම් පදනම් කර ගනිමින් අභ්‍යවකාශයේ සිට කරන ලද නිරීක්ෂණයන් මඟින් වුව ග්‍රහණය නො වීම සුවිශේෂ කරුණක්.
මේ නවතම නිරීක්ෂණය එම සංසිද්ධිය පළිබඳ වැඩිමනක් තොරතුරු හඹා යාම කෙරෙහි රුකුල් සපයන බවයි පසුගිය දා පර්යේෂණ පත්‍රිකාව ද සමඟින් Nature Astronomy ජර්නලයේ පළ වී තිබුණේ.
‘මුලින් ම අඳුරු පැල්ලමක් සොයාගත් යුගයේ සිට ම මේ කෙටිකාලීන වගේ ම දූරාවබෝධ අඳුරු පැල්ලම් මොනවා වෙන්න පුලුවන් ද කියලා මම විපිලිසර වුණා.’ අධ්‍යයනයේ ප්‍රධාන කතුවරයා වන ඔක්ස්වර්ඩ් විශ්වවිද්‍යාලයේ ග්‍රහ භෞතිකවිද්‍යා මහාචාර්ය පැට්රික් අර්වින් පවසනවා.
අධ්‍යයනයේ සමකතුවරියක වන කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ග්‍රහ භෞතිකවිද්‍යා මහාචාර්ය මිචෙල් වොංග් සඳහන් කරන්නේ මෙය මිනිස් වර්ගයා සතු විශ්වය නිරීක්ෂණය කිරීමේ හැකියාවන්ගේ නැග්ම මනා ලෙස ප්‍රකට කරවන අවස්ථාවක් බවයි. ‘මුල් කාලීන ව අපට මේ අඳුරු පැල්ලම් ග්‍රහණය කරගත හැකි වුණේ වොයේජර් වැනි අභ්‍යවකාශ යානයක් එහි යැවීමෙන් පමණයි. ඉන් පසු ව හබල් දුරේක්ෂය මඟින් දුරස්ථව සිට ඒවා හඳුනාගැනීමේ හැකියාව අපට ලැබුණා. අවසානයේ දී පොළොව මත සිට ම මේ ක්‍රියාව සිදු කළ හැකි පරිදි තාක්ෂණය දියුණු වෙලා තියෙනවා.’ ඇය සඳහන් කරනවා.
CNN ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්