ඇමරිකාවේ වයස අවුරුදු 65ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් නව දෙනෙකුගෙන් එක් අයෙකු ඇල්සයිමර් රෝගයෙන් පීඩා විඳින බව සොයාගෙන තිබෙනවා. ඇල්සයිමර් මුළුමනින් සුව කළ හැකි ඔසුවක් හඳුන්වා දෙන්නට මෙතෙක් කිසිවකුත් සමත් ව සිටියේ නැහැ. නමුත් විද්‍යාඥ කණ්ඩායමක් පවසන අන්දමට ඔවුන් සිදු කළ නවතම අධ්‍යයනයකින් එය පාලනය කරගත හැකි ක්‍රමයක් හඳුනාගෙන තිබෙනවා.
මේ අධ්‍යයනය මෙහෙයවා තිබුණේ සැන්දියේගෝ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ සහ ලොස් ඇන්ජලීස් කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම් දෙකක එකමුතුවෙන්. මෙහි දී ඔවුන් සිය පර්යේෂණය සඳහා ඇල්සයිමර් වැළඳුණ මූසිකයන් යොදාගෙන තිබුණා. කඩින් කඩ සිදු කළ ආහාර පාලනය මඟින් මූසිකයන්ගේ දෛනික ඔරලෝසුව ප්‍රතිවින්‍යාසගත කිරීම ඔවුන්ගේ අභිප්‍රාය වී තිබූ අතර එය සාර්ථක වූ බව පෙනී ගොස් තිබුණා.
ඇල්සයිමර් රෝගය යමෙකුගේ ජෙවීය ක්‍රියාවලිය අතරට වැදෙන එක් ආකාරයක් වශයෙන් දෛනික ඔරලෝසුවේ ක්‍රියාවලිය අවහිර වීම හඳුනාගත හැකියි. රෝගය වැළඳුණු පුද්ගලයන්ගේ අවදිවීම සහ නිනිදයාම අතර ඇති චක්‍රය වෙනස් වන අතර ඥානන අපහායනය ද සීඝ්‍ර ලෙස බහළ යනවා මෙන් ම නිනිද යාමේ දී මෙන් ම නිදා සිටීමේ දී ද අපහසුතා මතු වනවා.
පර්යේෂකයන් විසින් මූසිකයන්ගේ ආහාර රටාව කාල සටහනකට අනුව පාලනය කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ මතක හැකියාවේ වර්ධනයක් පෙන්නුම් කරන බව නිරීක්ෂණය වුණා. උපවාසයේ යෙදෙන මූසිකයන්ගේ මොළයේ ඇල්සයිමර් රෝගයට සම්බන්ධ ප්‍රෝටීනයක් වන ඇමිලොයිඩ ප්‍රෝටීන ක්‍රියාකාරීත්වය ද වාර්තා වී තිබුණේ මඳ වශයෙන්.
එසේ ම ආහාර පාලනයකින් තොර ව තබා තිබූ මූසිකයන්ට සාපෙක්ෂ ව ආහාර පාලනය කළ මූසිකයන්ගේ නිදාගැනීම් රටාව අතිශය සාමාන්‍ය මෙන් ම අධික්‍රියාකාරිත්වයන්ගෙන් ද තොර බව නිරීක්ෂණය වී තිබුණා.
‘බොහෝ කලක් තිස්සේ අප සිතා සිටියේ ඇල්සයිමර් වැළඳුණු පුද්ගලයන් තුළ දෛනික ඔරලෝසුව බිඳ වැටීම සිදු වන්නේ ස්නායු අවවර්ධනය වීම නිසා බවයි. නමුත් දැන් අප තේරුම් ගනිමින් සිටිනවා සැබෑවට ම සිදු වන්නේ එහි අනෙක් පැත්ත විය හැකි බව. එනම් දෛනික ඔරලෝසුවේ බිඳවැටීම ඇල්සයිමර් රෝගයේ පැතිරීමට සාධකයක් වන බව’ සැන්දියේගෝ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ස්නායුවේදී Paula Desplats සඳහන් කරනවා. ‘මේ නිසා දෛනික ඔරලෝසුවේ අකර්මණ්‍ය වීම් නව ඇල්සයිමර් ප්‍රතිකර්මවල ඉලක්කය විය යුතු බව පෙනී යනවා.’ ඇය වැඩිදුරටත් සඳහන් කරනවා.
Science Alert ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්