Home Science News “විසි එක්වෙනි සියවසේ බීගල් සංචාරය” ඇරඹුණු වගයි

“විසි එක්වෙනි සියවසේ බීගල් සංචාරය” ඇරඹුණු වගයි

by Sathya

ඉංග්‍රීසි ජාතික විද්‍යාඥ චාල්ස් රොබට් ඩාවින් විසින් 19 වෙනි සියවසේ දී සිදු කරන ලද ඓතිහාසික ගවේෂණ චාරිකාව වූ බීගල් සංචාරයෙන් වසර 190 කට පසු එහි පුනරාගමනයක් බඳු නවතම ගවේෂණ චාරිකාවක් නොබෝදා දියත් කරනු ලැබුවා.
‘ඩාවින් 200’ ලෙස නම් කර ඇති මේ ගවේෂණය ඇරඹුණේ එදා H.M.S. බීගල් යාත්‍රාවේ සිටි එක ම ස්වභාව විද්‍යාඥයා වුණු චාල්ස් ඩාවින් මෙන් නොව ජාත්‍යන්තර පර්යේෂකයන් හා පරිසරවේදීන් කණ්ඩායමක් රැගෙනයි.

එදා ඩාවින් තම 22 වැනි වියේ දී 1831 වසරේ දෙසැම්බර් මස 27 වැනි දින තම බීගල් සංචාරය ඇරඹූ එංගලන්තයේ Plymouth වරායෙන් ම පිටත් වුණු මේ චාරිකාව මේ 2023 වසරේ පසුගිය අගෝස්තු 15 වැනි දින දියත් කරනු ලැබුවේ හතරැස් රුවල් සහිත Oosterschelde නම් ඕලන්ද නෞකාව යොදාගෙනයි.

එදා ඩාවින් H.M.S. බීගල් යාත්‍රාවෙන් තම පස් වසරකට ආසන්න ගවේෂණ චාරිකාව 1836 වසරේ ඔක්තෝබර් මස 2 වැනි දින අවසන් කළ එංගලන්තයේ Falmouth වරායෙන් ම අවසන් කිරීමට අපේක්ෂිත මේ නව චාරිකාවට දෙවසරක පමණ කාලයක් ගත කිරීමට සැලසුම් කර තිබෙනවා.

එදා ඩාවින් ගමන් කළ මාර්ගයේ ම යාත්‍රා කරන නව ගවේෂණ කණ්ඩායම කිලෝමීටර් 74,000 ක දුරක් ගමන් කිරීමට නියමිත අතර එම කාලයේ දී මහාද්වීප 4 ක් පසු කරමින් වරායවල් 32 ක නැංගුරම් ලෑමට බලාපොරොත්තු වෙනවා.

තම ස්වාභාවික වරණවාදය මඟින් ජෛව පරිණාමයේ යාන්ත්‍රණය පැහැදිලි කිරීමට ආධාර වූ වටිනා තොරතුරු රැසක් ජීව විශේෂ පිළිබඳව ගොනු කර ගැනීමට එදා ඩාවින්ට හැකි වූ අයුරින් නව චාරිකාවේ දී ද විද්‍යාත්මක දත්තයන් රැසක් එකතු කර ගැනීමට අපේක්ෂිතයි.
එපමණක් නොව එමඟින් අනාගත පරිසරවේදීන් පුහුණු කිරීමටත්, සංරක්ෂණ කටයුතු ඉහළ නැංවීමටත් අරමුණු කෙරෙනවා.

ඩාවින් 200 ගවේෂණ චාරිකාවට වයස අවුරුදු 18 සිට 25 අතර තරුණ පරිසරවේදීන් 200 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පුහුණු කිරීමට අපේක්ෂා කෙරෙන අතර ඔවුන් සෑම කෙනෙක් ම සතියක කාලයක් Oosterschelde රුවල් නෞකාවේ ගත කිරීමට හැකි වන පරිදි සැලසුම් කර තිබෙනවා.

“අපට අවශ්‍ය වන්නේ වත්මන් තරුණ ස්වභාවවේදීන් හට එදා ඩාවින් ලද අයුරින් ම පරිණාමීය අත්දැකීමක් ලබා දීමයි.”
ඩාවින් 200 ගවේෂණයේ මෙහෙයුම් අධ්‍යක්ෂ Stewart Mcpherson එසේ පවසනවා.
ඉදිරි කාලය තුළ සෑම සතියකට වරක් රුවල් නෞකාවේ සිට “සොබා පැය” නම් සැසියක් ලොව පුරා ජනයා වෙත විකාශනය කිරීමට ගවේෂණ කණ්ඩායම බලාපොරොත්තු වෙනවා.

Live Science ඇසුරෙනි.

ප්‍රේමශාන්ත කුමාරසිරි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications