Home Science News දේශගුණ විපර්යාසය නිසා බිලියනයක ජනකායක් මරණයේ මුවවිටට යන ලකුණු

දේශගුණ විපර්යාසය නිසා බිලියනයක ජනකායක් මරණයේ මුවවිටට යන ලකුණු

by Sathya

අද දිනයේ දහනය කරන ෆොසිල ඉන්ධන හෙට දිනයේ දී මිනිසාගේ මරණ වරෙන්තුව ලියා දෙන්නට ඉඩ තිබෙනවා.

සිදු කරන ලද අධ්‍යයනයන් 180ක් විමර්ෂණයට බඳුන් කිරීමෙන් දේශගුණ විපර්යාසය නිසා සිදු වීමට නියමිත මිනිස් මරණ සංඛ්‍යාව ගැන ඇඟ කිලිපොලන අගයක් ලැබී තිබෙනවා. අනාවරණය වී ඇති පරිදි ඉදිරි සියවසක කාලය ඇතුළත දේශගුණයේ ඇති වන විනාශකාරී වාතාවරණයන් හේතුවෙන් බිලියනයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක මිනිස් මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නට නියමිතයි.

අනාගතය ගැන කෙරෙන බොහෝ පුරොකථනයන් මෙන් මෙය ද උපකල්පන කිහිපයක් මත පදනම් වනවා.

1,000-ton rule හෙවත් ‘ටොන් දහසේ නීතිය’ යනු ඉන් එකක්. එයට අනුව මිනිසා විසින් දහනය කෙරෙන කාබන් ටොන් දහසකට වතාවක් අනාගත මිනිසෙකුගේ මරණය තීන්දු වනවා.

ඉදිරියේ දී සිදු වනු ඇතැයි පූරෝකථනය කර ඇති පරිදි සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 2 ට ළඟා වුව හොත් තවත් ජීවිත විශාල සංඛ්‍යාවක් ඒ ගොඩට එකතු වනු ඇති. අද පටන් ඉහළ යන සෑම සෙල්සියස් අංශක 0.1කට මිලියන 100ක මරණ ගොන්නක් වාර්තා විය හැකියි.

‘ඔබ ටොන් දහසේ නීතිය පොදු සම්මතය පරිදි බැරෑරුම් ලෙස තකා බැලුවෝතින්, මානවකෘත ගෝලීය උෂ්ණත්වය ඊළඟ ශතවර්ෂය පුරා ගොඩගැසෙන අකලට මියගිය මළ සිරුරු බිලියනයකට සමපාත වනවා.’ කැනඩාවේ වෙස්ටර්න් ඔන්ටාරියෝ විශ්වවිද්‍යාලයේ බලශක්ති විශේෂඥ Joshua Pierce සඳහන් කරනවා.

කෙසේ නමුත් දේශගුණ විපර්යාසය හේතුවෙන් සිදු වන මරණ සංඛ්‍යාව ගැන දශමයට ම නිරවද්‍ය පුරෝකථනයක් සිදු කිරීම අතිශය අපහසු කටයුත්තක් බව සිහිකටයුතුයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර ඇති පරිදි වෙනස් වන පාරිසරික සාධක හේතුවෙන් සෑම වසරක ම ජීවිත මිලියන 13ක් අහිමි වනවා. ඒවා අතරින් දේශගුණ විපර්යාසය ඍජු ව හෝ වක්‍ර ව වගකිවයුතු මරණ කොපමණ වේ දැ යි තෝරා බේරා ගැනීම උගහටයි.

Science Alert ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications