අදින් වසර මිලියන 1.4කට පෙර මුල් මානවයින් වාසය කළ බවට සාධක හමු වූ ස්ථානයකින් සොයාගත් බේස්බෝල් පන්දුවක ප්‍රමාණයෙන් යුතු ගෝලාකාර පාෂාණ 150කට ආසන්න සංඛ්‍යාවක් හිතා මතා ම හැඩ ගන්වා ඇති බව සොයාගෙන තිබෙනවා. කෙසේ නමුත් ඒවා ගෝලාකාර ලෙස හැඩ ගන්වනු ලැබුවේ කුමක් අරබයා ද යන්න තවමත් පවතින්නේ අබිරහසක් ලෙසයි.
‘අවසනාවන්ත ලෙස, අපට තවමත් විශ්වාසදායී අදහසක් නැහැ ඒවා කුමක් සඳහා යොදාගත්තා ද යන වග’ ජෙරුසෙලමේ හීබෲ විශ්වවිද්‍යාලයේ Antoine Muller සඳහන් කරනවා.
මේ පාෂාණ මතු කරගනු ලැබුණු පුරාතන මානව වාසස්ථානය පිහිටා තිබෙන්නේ උතුරු ඊශ්‍රායලයේ Ubeidiyaවල යි. මුලින් ම එම පුරාවිද්‍යා ස්ථානය හඳුනා ගැනුණේ 1959 තරම් ඈත කාලයකයි. මිනිස් අස්ථි කොටස් කිහිපයකුත් ගල් ආයුධ දහස් ගණනකුත් ඉන් පාදා ගන්නට පුරාවිද්‍යාඥයන් සමත් වුණා. පුරාවිද්‍යාඥයන් දරන මතයන්ට අනුකූල ව එහි වාසය කර ඇත්තේ අපගේ මුල් කාලීන මුතුන්මිත්තන් ගහනයක් වන Homo erectus මානවයන් විසින්.
මූලික ගවේෂණයන්හි දී ගිනිගල්, බැසෝල්ට් සහ හුණුගල්වලින් නිර්මිත පාෂාණමය බෝල 600ක් පමණ නිරාවරණය කරගනු ලැබුණා. මෙවැනි ගෝලාකාර පාෂාණ මිලියන 1.8ක ඉතිහාසයක් ඇති වෙනත් මුල් කාලීන මානවයන් වාසය කළ වාසභූමිවලින් ද හමු වී තිබෙනවා. ‘ගෝලකයන්’ හෙවත් ‘spheroids’ ලෙස හැඳින්වෙන මේවා පරිශ්‍රමයක් දරා නිපදවා ඇති බව පැහැදිලි වුවත් ඊට හේතුව තවමත් අනාවරණ කරගෙන නැහැ.
මේ අබිරහස විසඳීමේ අටියෙන් ඉදිරිපත් වූ යෝජනාවන් කිහිපයක් ම තිබෙනවා. ඉන් එකක් වන්නේ ඒවා වෙනත් ගල් ආයුධ තනාගත් පසු ඉතිරි වූ අතුරු ඵල හෝ එවැනි ආයුධ තැනීම සඳහා තැලුම් ගල් ලෙස යොදාගත් ගල් විය හැකි බවයි.
මේ උපකල්පනය පරික්ෂාවට බඳුන් කිරීමේ අටියෙන් Muller සහ පර්යේෂණ සගයන් Ubeidiya හුණුගල් ගෝලකයන් 150ක් පරිලෝකනය කිරීමට පියවර ගත්තා. එහි දී ඔවුන් සෑම ගෝලකයක් ම හැඩ ගැන්වීමට සම කළ හැකි පහර දීම්වල අනුක්‍රමය හෙළි කරගැනීමට සමත් වුණා.
මේවා නිපදවීම හුදු අහඹුවක් හෝ අතුරුඵලයක් හෝ නොව කුඩා අත් පොරවක් සහ සමාන නිර්මාණ ශක්තියක් ද වුවමනා ක්‍රියාවලියක් බව පර්යේෂකයන් අනාවරණ කරගෙන තිබෙනවා.
New Scientist ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්