Home Science News දුර්ලභ ඩම්බෝ බූවල්ලෙකු අහම්බයකින් වීඩියෝගත කෙරෙයි

දුර්ලභ ඩම්බෝ බූවල්ලෙකු අහම්බයකින් වීඩියෝගත කෙරෙයි

by Sathya

ගැඹුරු සාගරයේ වෙසෙන දුර්ලභ ඩම්බෝ බූවල්ලකුගේ දර්ශන පටිගත කර ගැනීමට ගැඹුරු සාගර ගවේෂණය සඳහා යවන ලද දුරස්ථ පාලක රොබෝ යානයක් සමත් ව තිබෙනවා. හර්කියුලිස් නම් වන එම රොබෝ කැමරා පද්ධතියට මෙම දුර්ලභ අවස්ථාව උදා වූයේ Ocean Exploration Trust විසින් සිදු කෙරෙන EVNautilus සජීව වැඩසටහනක් අතර තුරයි.

කැමරා කාචයට හසු කරගන්නා විට මේ අමුතු මුහුදු සත්ත්වයා මුහුදු මට්ටමේ සිට අ‍ඩි 5,521ක් පහළින් රොබෝ යානයට මඳක් ඉහළින් පිහිනමින් සිටියා. ඒ මධ්‍යම පැසිෆික් සාගරයේ ඇති වර්ග සැතපුම් 580,000ක වපසරියක් පුරා පැතිර තිබෙන Papahānaumokuākea සාගර ජාතික සමාධිය (Papahānaumokuākea Marine National Monument – PMNM) ලෙසින් හැඳින්වෙන ප්‍රදේශය තුළ පිහිටා තිබෙන නාමකරණයට ලක් නො වූ සාගර කඳු ගැටයක් ආසන්නයේ දී යි.

ගවේෂණයේ මවු යාත්‍රාව වශයෙන් යොදාගත් Nautilus නෞකාව මත සිටි පර්යේෂකයන් අනපේක්ෂිත අවස්ථාවක දර්ශන පථයට පැමිණි අමුත්තා දැක විස්මයෙන් යුතු ව අදහස් ප්‍රකාශ කරන අයුරු ද එම වීඩියෝ පටයේ පසුබිමින් ඇසෙනවා. පර්යේෂකයන් වඩාත් ම පුදුමයට පත් ව තිබුණේ බූවල්ලාගේ අසාමාන්‍ය සුදුමැලි පැහැය හේතුවෙනුයි. රොබෝ යානය සතු දීප්තිමත් සෙවුම් ආලෝක ධාරාව සහ පසුබිමෙහි වූ අඳුරු සාගරය බව ඔවන් පසු ව අනාවරණය කරගත්තා.

ගැඹුරු මුහුදේ වාසය කරන අම්බ්‍රෙල්ලා බූවල්ලන් ඝනයකට අයත් වන ඩම්බෝ බූවල්ලන්ට එම නම ලැබී ඇත්තේ හිස දෙපසෙන් පිහිටා ඇති විශාල කන් දෙකක් මෙන් දිස් වන වරල් යුග්මය නිසයි. එය ‘ඩම්බෝ’ නම් වෝල්ට් ඩිස්නි කාටූන් චිත්‍රපටයේ එන අසාමාන්‍ය ලෙස විශාල කන් දෙකක් පිහිටා ඇති අලි පැටවාගේ චරිතය සිහිපත් කරනවා. විද්‍යාත්මක ව ඔවුන් Grimpoteuthis ඝනයට අයත් වනවා. බූවල්ලන් අතුරින් ගැඹුරුතම සාගර සීමාවක වාසය කරන බවට සැලකෙන්නේ ඔවුන්. ඔවුන්ගේ වාස සීමාව අඩි 3,300 සිට 13,100 දක්වා ගැඹුරකට විහිදී යනවා.

Newsweek ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications