Home Science News ඇමරිකාව සිය හදිසි පණිවුඩ පද්ධතිය පරික්ෂා කර බලයි

ඇමරිකාව සිය හදිසි පණිවුඩ පද්ධතිය පරික්ෂා කර බලයි

by Sathya

පසුගිය 4 වැනි දා ඇමරිකා එක්සත් ජනපදය සිය හදිසි පණිවුඩ පද්ධතිය (emergency alert system) පරික්ෂා කිරීමට පියවර ගෙන තිබුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් එරට භාවිතයේ පවතින සෑම ජංගම දුරකථනයක ම විශේෂිත වූ නලා හඬක් සමගින් හදිසි පණිවුඩයක් දිස් වූ අතර සියලු ම ගුවන් විදුලි සහ රූපවාහිනී යන්ත්‍ර මඟින් ද හදිසි පණිවුඩ නිකුත් කරනු ලැබුණා. නැඟෙනහිර වේලාවෙන් පස්වරු 2:20 ට ඇරඹුණු එය විනාඩි 30ක් දක්වා පැවතුණා.

ජංගම දුරකතන වෙත ලැබුණු පණිවුඩයෙන් කියැවු‍ණේ ‘මෙය ජාතික රැහැන්රහිත හදිසි පණිවුඩ පද්ධතියේ අත්හදා බැලීමකි. ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය නොවේ.’ (“THIS IS A TEST of the National Wireless Emergency Alert System. No action is needed.”) යනුවෙන්.

මේ අභ්‍යාසය සිදු කෙරුණේ හදිසි අවස්ථා කළමනාකරණය පිළිබඳ ෆෙඩරල් නියෝජිතායතනය (Federal Emergency Management Agency) සහ ෆෙඩරල් සන්නිවේදන කොමිසමේ (Federal Communication Commission)
සහයෝගීතාවයෙන්. ජාතික මට්ටමේ හදිසි අවස්ථාවක දී මහජනතාව වෙත කාර්යක්ෂම අනතුරු ඇඟවීමක් නිකුත් කිරීම වෙනුවෙන් දැනට ස්ථාපනය කර ඇති පද්ධතිවල කාර්යසාධනය පරීක්ෂා කර බැලීම මෙම අභ්‍යාසයෙහි අරමුණ වී තිබුණා.

සැබෑ හදිසි අවස්ථාවල දී ජාතික කාලගුණ සේවය වැනි ෆෙඩරල් සංස්ථා මඟින් නිකුත් කෙරෙන පණිවුඩ දැනුම් දීම සඳහා මෙම පද්ධතිය පද්ධතිය භාවිත වනවා. විවිධ ප්‍රදේශවලට අදාළ වන පරිදි අනතුරුදායක කාලගුණ තත්ත්වයන් කුඩා දරුවන්ගේ පැහැරගැනීම් පිළිබඳ දැනුම් දෙන AMBER පණිවුඩ ඇදිය බෙදා හැරීමට මෙය මහෝපකාරී වනවා. කෙසේ නමුත් සමස්ත එක්සත් ජනපදයට ම අදාළ වන පරිදි සිදු කළ හදිසි පණිවුඩ අභ්‍යාසයන් එතරම් සුලභ නැහැ. Wireless Emergency Alerts system හෙවත් ජංගම දුරකථන වෙත හදිසි පණිවුඩ නිකුත් කරන පද්ධතිය මේ දක්වා මුළු රටට ම එකවිට පණිවුඩ යවමින් පරික්ෂා කර බලා ඇත්තේ තුන් වතාවක් පමණයි. 2018 සහ 2021 වසරවලින් පසු එය සිදු වූයේ පසුගිය 4 වැනි දා යි. ඉදිරියේ දි සෑම වසර කිහිපයකට වතාවක් එය පරික්ෂා කරීමට සැලසුම් කර තිබෙනවා.

එසේ ම National Network to End Domestic Violence නම් ලාභ නො ලබන සංවිධානය මඟින් ගෘහස්ථ හිංසනයට ලක් වීමේ අවදානමක් සහිත සහ එවන් අවස්ථාවක දී ප්‍රයෝජනයට ගැනීම සඳහා සඟවා ගත් ජංගම දුරකථයක් සහිත පුද්ගලයන් වෙත කල් තියා ඒවා විසන්ධි කර දමන ලෙස ද දැනුම් දී තිබුණා.

New Scientist සහ CNN ඇසුරෙනි.

සත්‍ය හෙට්ටිආරච්චි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications