Home Science News නයෝබියම් සහිත නව ලෝපස් විශේෂයක් චීනයේ ආකරයකින්

නයෝබියම් සහිත නව ලෝපස් විශේෂයක් චීනයේ ආකරයකින්

by Sathya

මින් පෙර හමු නො වූ ආකාරයේ දුර්ලභ පෘථිවි මූලද්‍රව්‍ය කිහිපයක් අඩංගු වන ලෝපස් විශේෂයක් සොයා ගැනීමට චීන විද්‍යාඥයන් පිරිසක් සමත් ව සිටිනවා. සුපිරිසන්නායක ගුණාංගයන්ගෙන් යුතු වීම එහි ඇති විශේෂත්වයක්.

South China Morning Post වාර්තා කරන පරිදි නයෝබොබාඔ්ටයිට් (niobobaotite) ලෙස නම් කර ඇති මෙම ලෝපස නයෝබියම්, බේරියම්, ටයිටේනියම්, යකඩ සහ ක්ලෝරයිඩ්වලින් සමන්විත වනවා. මේවා අතුරින් වඩා වැදගත් තැනක් ගන්නේ නයෝබියම් (niobium). ළා අළු පැහැ ලෝහයක් වන එය බොහෝ විට වානේ නිපදවීමේ දී යොදා ගැනෙනවා. සැලකිය හැකි මට්ටමේ අමතර බරක් එක් නො කර වානේවල සිවි ශක්තිය ඉහළ නැංවීම සඳහා එය උපකාරී වනවා. තවත් මිශ්‍ර ලෝහ ගණනාවක් නිපදවීම සඳහා නයෝබියම් යොදා ගැනෙනවා. Royal Society of Chemistry සඳහන් කරන පරිදි අඩු උෂ්ණත්ව යටතේ එහි ඇති සුපිරිසන්නායකතාව නිසා ම එය ත්වරකයන් තුළ මෙන් ම වෙනත් නූතන විද්‍යාත්මක උපකරණ තුළ ද නැති ව බැරි මූලද්‍රව්‍යයක් බවට පත් ව තිබෙනවා.

ඉකුත් ඔක්තෝබර් 03 දා මේ ලෝපස් නිධිය හමු වී තිබෙන්නේ ඇතුළු මොංගෝලියාවේ Baotou නගරයේ පිහිටා ඇති බයාන් ඔබෝ ලෝපස් ආකරයෙන්. චීනයේ ජාතික න්‍යෂ්ටික සංස්ථාව සඳහන් කර ඇත්තේ මේ ලෝපස් විශේෂය බයාන් ඔබෝ ආකරයෙන් හමු වූ 17 වැනි නව ලෝපස් වි‌ශේෂය බවයි. එසේ ම මෙය එම කලාපය තුළින් සොයාගත් 150 වැනි නව ඛනිජය ද වනවා.

මෙය සිය නයෝබියම් අවශ්‍යතාවයෙන් 95%ක් ම ආනයනය කර ලබාගන්නා චීනයට මෙය අතිශය වාසිදායක සොයාගැනීමක් බවයි South China Morning Post වාර්තා කරන්නේ. සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ විද්‍යුත් සහ පරිගණක ඉංජිනේරුශිල්පය පිළිබඳ මහාචාර්ය අන්තෝනියෝ එච්. කැස්ත්‍රෝ නීටෝ සඳහන් කරන්නේ මේ නයෝබියම් සැපයුම මඟින් චීනයට ස්වයංපූරිත විය හැකි ද යන්න සපයාගත හැකි ධාරිතාව සහ ගුණාත්මකතාවය මත රඳා පවතිනු ඇති බවයි.

South China Morning Post ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications