Home Science News මානව කලල පර්යේෂණ නියාමනය කරන දින 14 නීතිය වෙනස් කිරීමට ජනතාවත් කැමතියි

මානව කලල පර්යේෂණ නියාමනය කරන දින 14 නීතිය වෙනස් කිරීමට ජනතාවත් කැමතියි

by Sathya

විද්‍යාගාර තුළ මිනිස් කලල යොදාගෙන සිදු කරන පර්යේෂණවල උපරිම නීතිගත කාල පරාසය වන දින 14 සීමාව දිර්ඝ කරන මෙන් සිදු කෙරෙන විවාදාපන්න යෝජනාවන්ට එක්සත් රාජධානියේ ජනතාව සහය පළ කරන බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

ඉන් ජානමය විකෘතීන්ට ලක් වූ මිනිසුන් බිහි වීමට ඉඩ ඇති බවට මතයක් පුළුල් ලෙස සමාජගත ව පැවතියත්, අධ්‍යයනයට බඳුන් වූ පිරිස අතරින් බහුතරය විශ්වාස කර තිබුණේ කලල පිළිබඳ ගැඹුරින් කෙරෙන පර්යේෂණ මිනිසාගේ සෞඛ්‍යයට සහ යහපත් හෙට දවසකට මඟ පෙන්වන බවයි.

මිනිස් කලලයකට දින 14ක කාලයට වඩා වැඩි කලක් විද්‍යාගාර තුළ වැඩෙන්නට සැලැස්වීම කළ නො හැක්කක් නො වූවත් එක්සත් රාජධානිය, එක්සත් ජනපදය ඇතුළු තවත් රටවල් බොහෝමයක් එය නීතියෙන් තහනම් කර තිබෙනවා.

එක්සත් රාජධානිය තුළ මේ නීතිය හඳුන්වා දෙනු ලැබුණේ 1990 වසරේ දී යි. යම් හෙයකින් එරට එම දින සීමාව දීර්ඝ කළහොත් දින 14 සීමාව පනවා ඇති බොහෝ රටවල්වල කලල පර්යේෂණවලට අදාළ නෛතික රාමු බලපෑමට ලක් විය හැකියි. ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, චීනය මෙන් ම නෙදර්ලන්තය ආදී වෙනත් යුරෝපානු රටවල් ද ඊට අයත්. ජර්මනිය, රුසියාව ආදී රටවල් මිනිස් කලල විද්‍යාගාර තුළ වැඩෙන්නට සැලැස්වීම තහනම් කර තිබෙනවා.

නීතිය ලිහිල් කර පර්යේෂණ කළ හැකි කාල පරාසය දීර්ඝ කිරීම වෙනුවෙන් ඉදිරිපත් වී ඇති යෝජනාව පිළිබඳ විද්‍යාඥයන් පවා සිටින්නේ දෙතැනකයි. බොහෝ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ පර්යේෂණයට බඳුන් වන කලල ද නීතිමය වශයෙන් හා සදාචාරාත්මක වශයෙන් ආවරණයට ලක් විය යුතු බවයි. නමුත් ඇතැම් විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ දින 14 සිට 35 දක්වා කාලය තුළ කලලයක වර්ධනය ගැන ඇති තොරතුරු අල්ප බවයි. එනිසා මෙම කාල සීමාව දීර්ඝ කිරීම අතිශය වැදගත් බව ඔවුන් පවසනවා.

මේ පිළිබඳ මහජන අදහස් විමසමින් කෙරුණු අධ්‍යයනය මෙහෙයවුණේ Wellcome Trust Human Developmental Biology Initiative (HDBI) විසින්. ඔවුන් සහභාගි වූවන් 70 දෙනෙකුගේ ප්‍රතිචාර වාර්තා කරගත්තා. එම සමාජ නියැදිය එක්සත් රාජධානියේ සෑම ස්තරයක් ම නියෝජනය කෙරෙන පරිදි ලබා ගැනීමට පර්යයේෂකයන් කටයුතු කර තිබුණා. ඔවුන් මෙහි දී හෙළි කරගෙන තිබුණේ ඉන් බහුතරය දින 14 නීතියේ වෙනස්කම් සිදු කිරීම පිළිබඳ පැහැදීමකින් පසු වන බවයි.

BBC Science Focus ඇසුරෙනි.

සත්‍ය හෙට්ටිආරච්චි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications